2024 සැප්තැම්බර් මාසයේදී ෆ්ලොරිඩා හි ගොල්ෆ් ක්‍රීඩාංගණයකදී එවකට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළ 59 හැවිරිදි රයන් රවුත් (Ryan Routh) හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
අමෙරිකානු දිස්ත්‍රික් විනිසුරු ඒලීන් කැනන් (Aileen Cannon) විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, රවුත් විසින් සිදුකළ අපරාධයේ ස්වභාවය අනුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදීම අනිවාර්ය බවයි.
නඩු විභාගයේදී අනාවරණය වූ කරුණුවලට අනුව, රවුත් මාස කිහිපයක් තිස්සේ මෙම ඝාතන සැලසුම දියත් කර තිබේ.
ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් ගැවසීමට ඉඩ ඇති ස්ථාන ලැයිස්තුවක් සහ මෙය “ඝාතන තැතක්” බව සඳහන් කරමින් ඔහු ලියූ සටහනක් ද පොලිසිය විසින් සොයාගෙන තිබුණි.
ඔහු සැඟවී සිටි ස්ථානයෙන් දුරදක්නයක් සහිත අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් සහ පතරොම් ගබඩාවක් හමු වූ බව රහස් සේවා නිලධාරීහු අධිකරණයට ප්‍රකාශ කළහ.
නඩු විභාගය පුරා රයන් රවුත් අමුතු ආකාරයේ හැසිරීම් පෙන්නුම් කළ අතර, ඔහු තමන් වෙනුවෙන් තමාම පෙනී සිටීමට තීරණය කර තිබුණි.
වරදකරු බව ප්‍රකාශ කළ අවස්ථාවේදී පෑනකින් තමාගේම ගෙලට ඇන ගැනීමට උත්සාහ කළ අතර, එහිදී ආරක්ෂක නිලධාරීන් වහා මැදිහත් වී ඔහුව මැඩපවත්වා තිබේ.
2024 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉලක්ක කර එල්ල වූ දෙවන ඝාතන තැත මෙයයි.
මීට පෙර ජූලි මාසයේදී පෙන්සිල්වේනියාවේ පැවැති රැලියකදී තෝමස් කෲක්ස් නමැති තරුණයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ට්‍රම්ප් මහතාගේ කනට තුවාල සිදු විය.
විනිසුරුවරිය අවධාරණය කළේ රයන් රවුත් තම ක්‍රියාව සම්බන්ධයෙන් කිසිදු කණගාටුවක් හෝ පසුතැවිල්ලක් පළ නොකළ බවයි.
කෙසේ වෙතත්, රවුත්ගේ නීතිඥයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.