Latest News

ග්‍රැමී සම්මාන උළෙල මෙහෙයවූ සුපිරි විකට නළුවාට, ට්‍රම්ප්ගෙන් තරවටු

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර ග්‍රැමී සම්මාන උළෙල මෙහෙයවූ සුප්‍රකට විකට නළුවෙකු වන ට්‍රෙවර් නෝවා (Trevor Noah) වෙත ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය දැඩි කෝපය පළ කර තිබේ.

ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් පිළිබඳව සිදුකළ හාස්‍යජනක ප්‍රකාශයක් හේතුවෙන්.

බිලී අයිලිෂ් (Billie Eilish) වසරේ හොඳම ගීතය සඳහා සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව, ට්‍රෙවර් නෝවා සභාව අමතමින් පැවසුවේ “සෑම කලාකරුවෙකුටම මේ සම්මානය අවශ්‍යයි. හරියට ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තය (Greenland) අවශ්‍යයි වගේ. ඒකෙ තේරුමක් තියෙනවා… මොකද එප්ස්ටයින්ගේ දූපත දැන් නැති නිසා, බිල් ක්ලින්ටන් එක්ක කාලය ගත කරන්න ට්‍රම්ප්ට දැන් අලුත් දූපතක් ඕනේ.” ලෙසයි.

මෙම ප්‍රකාශය හරහා ට්‍රෙවර් නෝවා ඉඟි කළේ මතභේදාත්මක චරිතයක් වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ (Jeffrey Epstein) පුද්ගලික දූපතට ට්‍රම්ප් සහ ක්ලින්ටන් ගිය බවයි.

මෙම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා ට්‍රෙවර් නෝවාට සහ ග්‍රැමී උළෙල සම්බන්ධයෙන් අදහස් පළකර සිටියේය.

ඒ “ග්‍රැමී සම්මාන උළෙල ඉතාමත් නරකයි, එය නැරඹිය නොහැකි මට්ටමක පවතිනවා,” ලෙසයි.

“නෝවා වැරදි තොරතුරක් කිව්වා. මම කවදාවත් එප්ස්ටයින් දූපතට ගිහින් නැහැ. අඩුම තරමේ ඒ අසලකටවත් ගිහින් නැහැ. අද රෑ මේ කරන ලද අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශය වෙනකම් කිසිම කෙනෙක් මට එවැනි චෝදනාවක් කරලා නැහැ,” යනුවෙන් ට්‍රම්ප් පවසා සිටියේය.

එමෙන්ම “නෝවා කියන්නේ කිසිම දක්ෂතාවයක් නැති පරාජිතයෙක්. මම මගේ නීතිඥයන් මාර්ගයෙන් මොහුට එරෙහිව නඩු පවරනවා,” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ට්‍රෙවර් නෝවා මෙවර ග්‍රැමී උළෙල මෙහෙයවනු ලැබුවේ හයවැනි සහ අවසන් වරටයි.

මෙම සිදුවීමත් සමඟ අමෙරිකානු දේශපාලන සහ විනෝදාස්වාද ක්ෂේත්‍රය තුළ දැඩි උණුසුම්කාරී තත්වයක් නිර්මාණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today