අමෙරිකා රජයේ සංවේදී ගිවිසුම් ලේඛන එරට සයිබර් ආරක්ෂණ සහ යටිතල පහසුකම් ආරක්ෂණ නියෝජිතායතනයේ (CISA) වැඩබලන ප්‍රධානී මධූ ගොට්ටුමුක්කලා විසින් ChatGPT හි පොදු සංස්කරණයකට (public version) ඇතුළත් කිරීම නිසා බරපතල දත්ත කාන්දුවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) නිලධාරීන් සිව්දෙනෙකු උපුටා දක්වමින්.
ඒ අනුව විදෙස් වාර්තා පවසන්නේ පසුගිය මැයි මාසයේදී දෙපාර්තමේන්තුවට බැඳුණු මෙම ඉන්දීය-ඇමරිකානු නිලධාරියා, ChatGPT භාවිතා කිරීම සඳහා ආයතනයේ ප්‍රධාන තොරතුරු නිලධාරී කාර්යාලයෙන් විශේෂ අවසරයක් ඉල්ලා තිබූ බවයි.
2025 වසරේ අගෝස්තු මාසයේ පළමු සතියේ සිට CISA හි සයිබර් ආරක්ෂණ සංවේදක මගින් මෙම දත්ත ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් ස්වයංක්‍රීය ආරක්ෂිත අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබුණි.
මොහු විසින් ඇතුළත් කරන ලද ලේඛන රහසිගත (classified) ලේඛන නොවුණත්, ඒවා ‘නිල භාවිතය සඳහා පමණක්’ ලෙස සලකුණු කර තිබූ සංවේදී ගිවිසුම්ගත ලේඛන බවයි වාර්තා වන්නේ.
මෙම දත්ත ChatGPT හි පොදු සංස්කරණයට ඇතුළත් කර ඇති බැවින්, ඒවා OpenAI සමාගම සමඟ බෙදා ගැනීමටත්, අනෙකුත් පරිශීලකයින්ට පිළිතුරු ලබා දීමට භාවිතා කිරීමටත් ඉහළ සම්භාවිතාවක් පවතින බව සඳහන්.
කෙසේවෙතත් ගොට්ටුමුක්කල මහතා අවසන් වරට ChatGPT භාවිතා කළේ 2025 ජූලි මැද භාගයේදී බවයි CISA හි මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ මාර්සි මැකාති ප්‍රකාශ කළේ.
සාමාන්‍යයෙන් CISA ආයතනය ChatGPT භාවිතය අවහිර කිරීමටයි පියවර ගෙන තිබුණේ.
එහෙත් රජය නවීකරණය කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහ අනෙකුත් නවීන තාක්ෂණයන් භාවිතා කිරීමේ අරමුණින්, ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) පාලනයන් යටතේ ඔහුට සීමිත කාලයකට විශේෂ අවසරයක් ලබා දී තිබුණි.
මෙම දත්ත කාන්දුවෙන් රජයේ ආරක්ෂාවට හානියක් සිදුවී ඇත්දැයි බැලීමට DHS ආයතනය වහාම අභ්‍යන්තර සමාලෝචනයක් සිදු කළ නමුත්, පරීක්ෂණ පවත්වන නිලධාරීන් එළඹුණු නිගමනය මෙතෙක් පැහැදිලි වී නොමැත.