ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% ක බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ඒ ගාසා තීරයේ සටන් විරාමය අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවා ඇති සාම මණ්ඩලයට එක්වීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අකමැති බව වාර්තා වීමත් සමඟයි.
ප්‍රංශ ජනාධිපතිවරයා සතුරු ලෙස ක්‍රියා කරන්නේ නම් තමා මෙම 200% බද්ද වෙළඳ බලපෑමක් ලෙස භාවිතා කරන බවත්, එවිට ඔහු සාම මණ්ඩලයට එක්වනු ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
මයාමි හිදී වාර්තාකරුවෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවසුවේ මැක්‍රොන් ඉක්මනින්ම ධුරයෙන් ඉවත් වන නිසා කිසිවෙකු ඔහුට කැමති නැති බවයි.
මැක්‍රොන්ගේ පස් අවුරුදු ජනාධිපති ධුර කාලය 2027 මැයි මාසයෙන් අවසන්.
ප්‍රංශ නීතියට අනුව ඔහුට තෙවන වරටත් තරඟ කළ නොහැකියි.
සාම මණ්ඩලය යනු ඊශ්‍රායල-හමාස් සටන් විරාමය අධීක්ෂණය කිරීම සඳහා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද ගෝලීය ආයතනයක්.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ලෝක නායකයින් රැසකට මෙයට එක්වන ලෙස ආරාධනා කර තිබේ.
ට්‍රම්ප් ග්‍රීන්ලන්තය පාලනය කිරීමේ තම සැලසුම් ද මෙහිදී යළි අවධාරණය කර තිබේ.
යුරෝපයෙන් ඊට විරෝධයක් එල්ල නොවනු ඇති බව පැවසූ ට්‍රම්ප් “අපට එය තිබිය යුතුමයි… ඔවුන්ට එය ආරක්ෂා කළ නොහැකියි” යනුවෙන් ඔහු සඳහන් කළේය.
ඩෙන්මාර්කයේ ඓතිහාසික අයිතිවාසිකම් පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ ඩෙන්මාර්ක නායකයින් හොඳ පුද්ගලයන් වුවද, සියවස් ගණනාවක පැවැත්ම නිසාම අයිතියක් හිමි නොවන ‘බවයි.
වසර 500කට පෙර බෝට්ටුවක් එහි ගොස් පසුව පිටත්ව ගිය පමණින් දේපළ අයිතියක් නොලැබෙන බව ට්‍රම්ප් පැවසුවද, ඔහු කුමන බෝට්ටුවක් ගැන කතා කරන්නේ දැයි පැහැදිලි නැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඩෙන්මාර්කය 1721 සිට ග්‍රීන්ලන්තයේ ජනපද පවත්වාගෙන ගිය අතර 1953 දී එය ඩෙන්මාර්කයේ කොටසක් බවට පත්විය.
2009 සිට ග්‍රීන්ලන්තයට ස්වයං පාලන බලය හිමිව ඇති නමුත් විදේශ ප්‍රතිපත්ති සහ ආරක්ෂාව පිළිබඳ වගකීම තවදුරටත් ඩෙන්මාර්කය සතුයි.