Latest News

එංගලන්තයේ සියලුම තරුණ තරුණියන් සඳහා නොමිලේ බස් රථ ප්‍රවාහන පහසුකම් ලබා දීමට යෝජනාවක්

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ වයස අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන් සඳහා නොමිලේ බස් රථ ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බව හරිත පක්ෂය පවසයි.

දැනටමත් ලන්ඩනයේ වයස අවුරුදු 18 ට අඩු අයට නොමිලේ බස් රථවල ගමන් කළ හැකියි.

අවුරුදු 25 දක්වා ඇතැම් පිරිස් සඳහා වෙනත් වට්ටම් ද හිමි වන අතර එංගලන්තය පුරා පවතින අනෙකුත් බස් සමාගම් ද තරුණයින් සඳහා විවිධ ප්‍රවාහන වට්ටම් ලබාදෙයි.

ජීවන වියදම ඉහළ යාම නිසා තරුණ පිරිස්වලට රැකියා සහ පුහුණු අවස්ථා ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්, එළඹෙන මැයි මැතිවරණයෙන් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තේරී පත් වුවහොත් මෙම වෙනස වෙනුවෙන් පෙනී සිටින බවත් හරිත පක්ෂයේ නායක සැක් පොලාන්ස්කි ප්‍රකාශ කළේය.

ස්කොට්ලන්තයේ වයස අවුරුදු 5 සිට 22 දක්වා පිරිසට 2022 වසරේ සිට නොමිලේ බස් ගමන් පහසුකම් හිමි වී තිබේ.

මෙම ක්‍රමය එංගලන්තයට ද හඳුන්වා දිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තරුණයින් සඳහා වන මෙම පොදු බස් ගමන් බලපත්‍රය මගින් ආර්ථිකය දියුණු වන බැවින් එය තමා විසින්ම මුදල් උපයා ගන්නා ව්‍යාපෘතියක් වනු ඇති බව හරිත පක්ෂයේ අදහසයි.

“ජීවන වියදම් අර්බුදය නිසා තරුණ පිරිස් රැකියා සහ පුහුණු අවස්ථාවලින් වැඩි වැඩියෙන් බැහැර වන අතර, මෙහි දරුණුතම බලපෑම එල්ල වන්නේ ඉතාමත් අඩු වයසැති තරුණයින්ටයි,” යැයි පොලාන්ස්කි කියාසිටියා.

වර්තමාන කම්කරු පක්ෂ රජය දිළිඳු ජනතාව තවත් දිළිඳු කරමින් සහ ධනවතුන් තවත් ධනවත් කරමින් තරුණයින්ගේ මෙම දුෂ්කර තත්ත්වය තවත් නරක අතට හරවා ඇති බවට ද ඔහු චෝදනා කරයි.

මෙම වැඩපිළිවෙළ පසුගිය වසරේ ප්‍රවාහන තේරීම් කාරක සභාව නිර්දේශ කරන ලද්දක්.

එය යථාර්ථයක් බවට පත් කිරීමට ජාතික මට්ටමින් දේශපාලන බලපෑම් කරන බව පොලාන්ස්කි පවසයි.

පර්යේෂණයකට අනුව, එරට තුළ සේවකයින් මිලියන 2.2 ක් රැකියාවට යාම සඳහා බස් රථ මත යැපෙන අතර ඔවුන් වාර්ෂිකව පවුම් බිලියන 72 ක සාමූහික ආදායමක් උපයා දෙන බව හරිත පක්ෂය පෙන්වා දෙයි.

World News

Send your contact Details Today