Latest News

චීන විද්‍යුත් වාහන සඳහා කැනඩා වෙළඳපොළ විවෘත කරයි

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන විද්‍යුත් වාහන සඳහා කැනඩා වෙළඳපොල විවෘත කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව චීන විද්‍යුත් වාහන 49,000ක් දක්වා ආනයනය කිරීමට කැනඩාව පියවර ගනු ඇති බවටයි එම වාර්තා පවසන්නේ.

කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගේ චීන සංචාරය අතරතුර, විද්‍යුත් වාහන සහ කැනෝලා (Canola) සඳහා පනවා තිබූ තීරුබදු අඩු කිරීමටත්, වෙළඳ බාධක ඉවත් කිරීමටත් දෙරට අතර මූලික එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

2017 වසරෙන් පසු කැනේඩියානු අගමැතිවරයෙකු චීනයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි.

අමෙරිකාවට පසුව සිය දෙවන විශාලතම වෙළඳ හවුල්කරු සමඟ සබඳතා යළි ගොඩනැගීම මෙහි අරමුණයි.

නව ගිවිසුම යටතේ, කැනඩාව මුලින් චීන විද්‍යුත් වාහන 49,000ක් දක්වා 6.1% ක තීරුබද්දක් යටතේ ආනයනය කිරීමට අවසර දීමට අපේක්ෂිතයි.

මෙය 2024 වසරේදී හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් පැනවූ 100% ක තීරුබද්දට වඩා විශාල අඩුවීමක්.

සංසන්දනාත්මකව බැලීමේදී, 2023 වසරේදී චීනය කැනඩාවට විද්‍යුත් වාහන 41,678ක් අපනයනය කර තිබුණි.

ඉදිරි වසර පහ තුළ මෙම වාහන ප්‍රමාණය 70,000ක් දක්වා ක්‍රමයෙන් වැඩි කිරීමටද සැලසුම් කර තිබේ.

අගමැති කාර්නි පවසන්නේ, කැනඩාවේම තරඟකාරී විද්‍යුත් වාහන ක්ෂේත්‍රයක් ගොඩනැගීමට නම් චීනය වැනි නව්‍ය හවුල්කරුවන්ගෙන් ඉගෙන ගත යුතු බවයි.

මෙම එකඟතා හරහා කැනේඩියානු ගොවීන්ට සහ ධීවරයින්ට ඩොලර් බිලියන 3කට ආසන්න අපනයන ඇණවුම් ලැබෙනු ඇති බව අගමැතිවරයා පැවසීය.

චීන වාහන කැනඩා වෙළෙඳපොළට ඇතුළුවීම හේතුවෙන් උතුරු අමෙරිකානු මෝටර් රථ වෙළඳපල තුළ චීන මෝටර් රථ සඳහා ශක්තිමත් පදනමක් ලැබීමේ අවදානමක් පවතින බවට ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

මෙම පියවර මඟින් රැකියා දහස් ගණනක් අනතුරේ වැටෙන අතර, වසර සියයකට අධික කාලයක් පැවති උතුරු අමෙරිකාවේ ඒකාබද්ධ මෝටර් රථ කර්මාන්තයේ නායකත්වය පළුදු වීමටද ඉඩ ඇති බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.

චීන රජයේ සහනාධාර මත ක්‍රියාත්මක වන අතිරික්ත නිෂ්පාදන ධාරිතාව දැනටමත් යුරෝපයේ මෝටර් රථ කර්මාන්තය ආක්‍රමණය කර අවසන්.

මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් ඊළඟට බලපෑම එල්ල වන්නේ උතුරු අමෙරිකාවටයි.

USMCA වෙළඳ ගිවිසුම අලුත් කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡා පවතින මෙවැනි මොහොතක, කැනඩාව සිය තීරණය පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවත්, උතුරු අමෙරිකානු කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව සමඟ එක්ව කටයුතු කළ යුතු බවත් පෙන්වා දී තිබේ.

World News

Send your contact Details Today