Latest News

“ළමයි ළඟ මං ටීචර්, ප්‍රවී­ණ­යන් ළඟ මං ළම­යෙක්” – ජයනි වීරසිංහ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජයනි වීර­සිංහ බොහෝ විට අපට හමු­වන්නේ සිනමා තිර­යෙනි. අපේ ප්‍රින්සි­පල් චිත්‍ර­ප­ටයේ යමුනා ටීචර් ප්‍රේක්ෂක ඔබට අම­තක නොවන භූමි­කා­වකි. නිල් සුරං­ග­නාවී ලෙසින් පළමු රංග­න­යෙන්ම ඉතාම ජන­ප්‍රිය වූ ඇය ළංවී ටෙලි නිර්මා­ණයේ ඩයනා ලෙසින් අම­තක නොවන භූමි­කා­වක නිරත වූවාය. ඉදි­රි­යේදී තිර­ගත වීමට නිය­මිත සින­මා­පට කිහි­ප­ය­කින්ම ඔබ හමු­වට එන්නට බලා­පො­රො­ත්තු­වෙන් සිටින ඇය අද අප හා කතා­බ­හට එක්වූ­වාය.

ජයනි මේ දින­වල ගොඩක් කාර්ය­බ­හු­ලයි නේද?

මේ දව­ස්වල මහා­චාර්ය සුනිල් ආරි­ය­ර­ත්නගේ අලුත්ම සිනමා නිර්මා­ණයේ රූගත කිරි­ම්ව­ලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මම රංග­න­යෙන් දායක වුණු තිළිණ බොර­ලැ­ස්සගේ කුලු­ඳුල් සිනමා නිර්මා­ණය ‘මං හොයන්නෙ ප්‍රේම­යක්‘වගේම සමීර නාඔ­ටු­න්නගේ වයිෆ් චිත්‍ර­ප­ට­යත් නුදු­රේ­දීම තිර­ගත වීමට නිය­මි­තයි. ඊට අම­ත­රව වෙළෙඳ දැන්වීම් කිහි­ප­ය­ක­ටත් සම්බන්ධ වුණා. ඒ කට­යුතු එක්ක ටිකක් කාර්ය­බ­හු­ලයි කිවුවත් හරි. පුංචි තිරයේ නම් මේ දව­ස්වල දකින්න නැති තරම්.

අපේ ප්‍රින්සි­පල් චිත්‍ර­ප­ටියේ යමුනා ටීචර් කියන්නේ ඔබට සමීප භූමි­කා­වක් නේද?

ඇත්ත­ටම ළමයි අද­ටත් මට යමුනා ටීචර් කියලා කතා කර­නවා. අපේ ප්‍රින්සි­පල් චිත්‍ර­ප­ටය දින 100ටත් වඩා තිර­ගත වුණා. සැබෑ ජීවිතේ මාත් ගුරු­ව­රි­යක් නිසා මට ඒ නිර්මා­ණය ගොඩක් විශේ­ෂයි.

ඔබට නිල් සුරං­ග­නාවි කියල කියන්න හේතුව මොකක්ද?

මුලින්ම මම රග­පෑවෙ ලිලන්ත කුමා­ර­සිරි අධ්‍ය­ක්ෂ­ණය කළ මුතු පිහාටු ළමා ටෙලි නාට්‍යයේ සුරං­ග­නා­වි­ය­කගේ චරි­ත­යක්. ඒ කාලෙ­දිම මම මුල්ම පත්වීම ලබලා ගාල්ල සවුත්ලන්ඩ් බාලි­කාවේ සේව­යට ගියා. ළමයි මට නිල් සුරං­ග­නාවි කියල කතා කරන්න පටන් ගත්තා. මම ඉගැ­න්නුවේ හය, එකො­ළහ ශ්‍රේණි­ව­ලට. ඒත් පුංචි පන්ති­වල ළමයි ඉන්ට­වල් එකට එනවා නිල් සුරං­ග­නාවි බලන්න. සම­හර පුංචි ළමයි පාසල ඇරි­ලත් අම්ම­ලත් එක්ක ගෙදර යන්නෙ නැතුව නිල් සුරං­ග­නාවි බලන්න එකයි තිහ වෙන­කම් ගේට්ටුව ළඟ හිටියා. ඒක හරිම ලස්සන ආද­ර­ණීය කාල­යක්.

ඔබ කලා­වට පිවි­සීම ගැන සිහි­පත් කර­නවා නම්?

මුතු පිහාටු තමයි මගේ පළමු අත්දැ­කීම. නිල් සුරං­ග­නාවි විදි­හට ගොඩක් ප්‍රේක්ෂ­ක­යින් අත­රට ගියා, විශේ­ෂ­යෙන් පුංචි ළමයි. සුරං­ගනා ලෝකෙ ආච්චිට හිටියෙ ප්‍රවීණ රංගන ශිල්පිනී අයි­රාං­ගනී සේර­සිංහ මහ­ත්මිය. ඇගෙන් ලබපු ගුරු­හ­රු­කම් මගේ ගම­නට ලොකු පන්න­ර­යක් වුණා. ඊට පස්සේ රුවන් මාලිගා, අහිමි, ළංවී වගේ ටෙලි නාට්‍ය­ව­ලට රංග­න­යෙන් දායක වුණා. තිමිර උඩ­ල­ම­ත්තගේ තිර රච­න­යෙන් විකා­ශය වුණු ළංවී ටෙලි නාට්‍යයේ ඩයනා කියන චරි­තය පාතාල නාය­ක­යෙක්ගේ පෞද්ග­ලික ලේක­ම්ව­රි­යක්. පාතාල නාය­කයා විදි­හට හිටිය ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟ රංග­නයේ නිරත වුණු කාලය මට දැනුණේ රංගන පාඨ­මා­ලා­වක් හැදෑ­රුව වගේ.

ඔබට දමිළ චිත්‍ර­ප­ට­යක ප්‍රධාන චරි­ත­ය­කට සම්බන්ධ වෙන්නත් අව­ස්ථාව ලැබුණා නේද?

ඔව්. ඉරානි කියන දමිළ චිත්‍ර­ප­ටයේ. ඒකත් මට අභි­යෝ­ග­යක් වගේම ලොකු අත්දැ­කී­මක් වුණා. එහි මාත් එක්ක ඉන්දිය නළු රාජ් කුමාර් රඟ­පෑවා. ඉරානි ඉන්දි­යාවේ වගේම ලංකා­වේත් තිර­ගත වුණා. එහි සිංහල චිත්‍ර­ප­ටිය ළඟ­දීම ලංකාවෙ තිර­ගත වෙන්න නිය­මි­තයි. ඒ වගේම ක්‍රිස් ඇන්තනී අධ්‍ය­ක්ෂ­ණය කළ අපේ ප්‍රින්සි­පල්, මහා­චාර්ය සුනිල් ආරි­ය­ර­ත්නගේ ගෞතම බුද්ධ මාතා චිත්‍ර­ප­ට­ව­ලට රංග­න­යෙන් දායක වෙන්න තරම් මම වාස­නා­වන්ත වුණා.

රංගන ජීවිතේ අම­තක නොවන අත්දැ­කීම් ඇති?

ඉරානි චිත්‍ර­ප­ටිය රූගත කිරීම් තිබුණෙ නුවර කිරි­මැ­ටිය කියන හරිම ලස්සන පැත්තක. මම වැඩි­පු­රම ෂූටින් යන්නෙ මගේ වාහනේ. එදත් සුපු­රුදු විදි­හට මායි මාත් එක්ක ෂූටි­න්ව­ලට යන ඇන්ටි කෙනෙ­කුයි නුවර යන්න පිටත් වුණා. යක්කල හරි­යෙදි වගේ මගේ වාහනේ නතර වුණා. ස්ටාර්ට් වෙන්නෙම නෑ. පහු­වදා පාන්දර ප්‍රඩ­ක්ෂන් එකෙන් නුවර යන වාහ­නේක තමයි අපි නුවර ගියේ. ලොකේ­ෂන් එක කිට්ටුව හරිම ලස්සන මන්දි­ර­යක් වගෙ තැනක අපි වාහනේ නතර කරලා අවට ලස්සන බල බලා හිටියේ මේ අපිට නව­තින්න සූදා­නම් කරපු තැන කියලා හිතලා. පස්සේ ප්‍රඩ­ක්ෂන් එකෙන් කතා කරලා කිවුවා තව ඉස්ස­ර­හට එන්න කියලා. එත­කොට බල­ද්දියි දැක්කෙ ඒක පන්ස­ලක් කියලා. පහු­වදා මෙන්න පොලී­සි­යෙන් ඇවිත් අපෙන් ප්‍රශ්න කර­නවා. ඊයෙ රෑ අපි නව­ත්නන් හිටිය පන්සලේ පාර්ක් එකේ තියෙන කෝන්ස් වග­යක් අපේ වගේම කාර් එක­කින් ඇවිත් හොර­කම් කරන් ගිහින්. කැම­රාවේ තියෙන්නේ මේ වගේම කාර් එකක්. අපි හැමෝ­ගෙන්ම කට උත්තර ගත්තා. එදා තමයි මං ජීවි­තේට පොලීසි­යට කට උත්ත­ර­යක් දුන්නේ. ඒක මට කව­දා­වත් අම­තක වෙන්නෙ නැහැ.

ඔබ සැබෑ ජීවි­ත­යේත් වෘත්ති­යෙන් ගුරු­ව­රි­යක්. ප්‍රේක්ෂ­ක­යින් ඒ ගැන දැන­ග­න්නත් කැමැති ඇති?

ඔව්. මම නිල්වලා අධ්‍යා­පන විද්‍යා­පී­ඨයේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝ­මා­ධාරී ගුරු­ව­රි­යක්. ගිය වස­රෙදි මගේ අධ්‍යා­ප­න­වේදී උපා­ධි­යත් අව­සන් කළා. මට මුල්ම පත්වීම ලැබුණේ ගාල්ල සවු­ත්ලන්ඩ් විද්‍යා­ල­යට. ඊට පස්සේ අම්බ­ල­න්ගොඩ දේවා­නන්ද විද්‍යා­ලයේ වසර දහ­යක සේවා කාල­යෙන් පසුව මේ වෙද්දි කොළඹ තර්ස්ටන් විද්‍යා­ලයේ ගුරු­ව­රි­යක් විදි­හට සේවය කර­නවා.

ගුරු­ව­රිය නිළි­යක් වීම තුළ ගැට­ලු­කාරී තත්ත්ව­යන් උද්ගත වෙලා නැද්ද?

අනේ නෑ. මම කොත­න­ක­වත් ඔය දෙක පට­ල­ව­ගෙන නෑ. මම පාසලේ ගේට්ටු­වෙන් ඇතුළු වෙන්නෙ ජයනි කියන ගුරු­ව­රිය විදි­හට. මම මගේ රාජ­කා­රිය තුළ මගෙ හෘද­සා­ක්ෂි­යට එක­ඟව උප­රි­ම­යෙන් වැඩ කර­නවා. දෙනෝ­දා­හක් දරු­වන්ට මම හරි පාර පෙන්නු­වොත් මගෙ දරුවො ඉබේම හරි පාරෙ යයි. මොකද ගුරු වෘත්තිය කියන්නෙ වන්ද­නීය වෘත්ති­යක්. දැක්ක තැන දරුවො අපිට වඳි­නවා. මේ ළමා පර­පු­රට හරි පාර පෙන්නුවෙ නැතොත් අපිට පවු පිරෙ­නවා. රංග­නය ගත්තොත් රංග­න­යේදී ප්‍රවී­ණ­යන් ළඟ ජයනි ටීචර් ළම­යෙක් වෙනවා. හරිම නිහ­ත­මා­නීව මං ඔවු­න්ගෙන් දැනුම ලබා ගන්නවා. රංග­න­යෙන් අද මං යම් තැනක ඉන්නවා නම් ඒ ප්‍රවී­ණ­ය­න්ගෙන් ලබපු අත්දැ­කීම් නිසා. මට මේ ක්ෂේත්‍ර දෙකේම කිසිම ගැට­ලු­වක් ඇති වෙලා නෑ.

World News

Send your contact Details Today