මධුරෝ අත්අඩංගුවට ගැනීම ජගත් ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ දැඩි විවේචනයට ලක්විය.
නඩු විභාගයට පෙර වෙනිසියුලාව සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් ජගත් ආරක්ෂක කවුන්සිලයේ දී පැවැත්විණි.
එහිදී අමෙරිකා හිතවාදී රටවල් පවා නිකොලස් මධුරෝ පැහැරගැනීම හෙළාදැක තිබේ.
මෙහිදී ඔවුන් අනතුරු අඟවා සිටියේ කොලොම්බියාව , මෙක්සිකෝව වැනි දකුණු ඇමෙරිකානු රටවල් වලට ද ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් ඉදිරියේදී මෙවැනි බලපෑම් එල්ලවිය හැකි බවයි.
මෙම හදිසි රැස්වීමේ දී ඩෙන්මාර්කය , ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ඇමෙරිකාවේ ඇති අපේක්ෂාව ද හෙළාදුටුවේය.
දේශසීමා උල්ලංඝනය කිරීම සාකච්ඡා සඳහා සුදුසු කරුණක් නොවන බවයි ඩෙන්මාර්ක නියෝජිතවරයා මෙහිදී කියා සිටියේ.
බලහත්කාරයෙන් තර්ජනය කිරීම හෝ ජාත්‍යන්තර නීතියට පටහැනි ක්‍රම මගින් වෙනිසියුලාවේ දේශපාලනයට බලපෑම් කිරීමට කිසිදු රාජ්‍යයක් උත්සාහ නොකළ යුතු බවද ඇය මෙහිදී අවධාරණය කළේය.
ප්‍රංශ ජනාධිපතිවරයා ට්‍රම්ප්ගේ ක්‍රියාව අනුමත කළද එරට නියෝජිතයා ආරක්ෂක මණ්ඩල හමුවේදී එය හෙළාදැක තිබේ.
බ්‍රිතාන්‍ය ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින් , ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම හෙළාදකින බවයි සඳහන් කළේ.
එමෙන්ම වෙනිසියුලා නියෝජිතයා ද මෙහිදී සඳහන් කළේ කිසිදු නීතිමය සාධාරණයක් නොමැති නීතිවිරෝධී සන්නද්ධ ප්‍රහාරයක් ඇමෙරිකාව දියත් කළ බවයි.
කෙසේ වුවද ආරක්ෂක මණ්ඩල ඇමෙරිකා නියෝජිත මයික් වෝල්ස් මෙහිදී මධුරෝව හදුන්වා දුන්නේ නීතිවිරෝධී ඊනියා ජනාධිපතිවරයෙකු ලෙසයි.
ඇමෙරිකාව අත්අඩංගුවට ගත් වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මධුරෝ වහාම නිදහස් කරන ලෙස ද මෙම සැසිවාරයේ දී අමෙරිකාවෙන් ඉල්ලා සිටියේය.