අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලාව ආක්‍රමණය කිරීම සහ එරට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම තුළින් ලෝක වෙළෙඳපොළේ තෙල් මිලට බලපෑමක් සිදු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ දිනයේදී ද ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි වෙනසක් සිදුවී නැති බවත්, බ්‍රෙන්ට් බොරතෙල් මිල 1% කින් පමණ පහත වැටී ඇති බවත් එංගලන්තයේ ගාඩියන් පුවත් සේවය වාර්තා කළේය.
අතිවිශාල බොරතෙල් සංචිතයක් පිහිටි වෙනිසියුලාව ලෝක වෙළෙඳපොළට නිකුත් කරනු ලබන තෙල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමක නොතිබීමත්, වෙනිසියුලාවෙන් තෙල් ආනයනය කරන ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් අමෙරිකාව විසින් මීට වසර කිහිපයකට පෙර පනවන ලද සම්බාධක හේතුවෙන් තෙල් ආනයනය පහත දැමීමත් ඊට හේතුවී ඇතැයි වාර්තා වේ.
වසර 2000 සිට 2010 දක්වා වෙනිසියුලාවේ විශාලතම බොරතෙල් ගැනුම්කරු බවට පත්වී සිටි ඉන්දියාව අමෙරිකාවේ ද්විතීයික සම්බාධක වළක්වා ගැනීම සඳහා 2019 වසරේ සිට එරටින් තෙල් ආනයනය කිරීම අඩු කර තිබූ අතර, එය පසුගිය වසර වනවිට 81.3% දක්වා පහත වැටී ඇතැයි ද වාර්තා වේ.