ඉන්දියාව විසින් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සීමා කරන ලෙස අමෙරිකානු රජය කළ ඉල්ලීම් ඉන්දියාව ඉටු කිරීමට අසමත් වුවහොත් ඉන්දියානු භාණ්ඩ මත පනවා ඇති ආනයන බදු තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එයාර් ෆෝස් වන්’ (Air Force One) නිල ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් ඇමතූ ට්‍රම්ප් ජනාධිපතිවරයා, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පවතින සබඳතා පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, රුසියානු තෙල් ගනුදෙනු සම්බන්ධයෙන් තමන් අසතුටින් පසුවන බව අග්‍රාමාත්‍යවරයා හොඳින් දන්නා බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, ඉන්දියාව සමග පවතින වෙළඳ සබඳතා හමුවේ ඕනෑම මොහොතක ඉතා ඉක්මනින් බදු ඉහළ නැංවීමේ හැකියාව ඇමරිකාව සතු බවත් අවධාරණය කරනු ලැබුවේය.
රුසියාවෙන් විශාල වශයෙන් බොරතෙල් මිලදී ගැනීමට එරෙහිව දණ්ඩනයක් ලෙස පසුගිය වසරේදී අමෙරිකාව විසින් ඉන්දියානු භාණ්ඩ මත පනවා තිබූ ආනයන බදු 50% දක්වා දෙගුණ කිරීමට පියවර ගත්තේය.