වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සීලියා ෆ්ලෝරස් අද (05) දිනයේ අමෙරිකාවේ මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ඔවුන් සම්බන්ධ අධිකරණ කටයුතු ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (05) රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතයි.
නිකොලස් මදුරෝට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ගොනුකර චෝදනා පත්‍රයට අනුව, මදුරෝ වෙනිසියුලාව මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් පෝෂණය වූ දූෂිත, නීති විරෝධී රජයක් පවත්වාගෙන යන බව සඳහන්.
නීති විරෝධී මත්ද්‍රවය ටොන් දහස් ගණනක් ඇමරිකාවට ප්‍රවහනය කිරීම සඳහා ලෝකයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය-ත්රස්තවාදීන් සමඟ, වෙනිසුලානු ජනාධිපතිවරයා එක්ව කටයුතු කර ඇති බව ඇමරිකාව විසින් නඟන මූලික චෝදනාවයි.
එමෙන්ම මාදුරෝ ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන නිකොලස් මාදුරෝ ගුවේරාට එරෙහිව ද චෝදනා ගොනු කිරීමට අමෙරිකානු බලධාරීන් කටයුතු කර තිබේ.
අමෙරිකානු හමුදා විසින් වෙනිසියුලානු වේලාවෙන් ඊයේ (04) අලුයම් කාලයේ එරට අගනුවර වන කැරකස්හි සිදුකළ විශේෂ හමුදා මෙහෙයුමක දී නිකොලස් මදුරෝ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අමෙරිකා හමුදා භාරයට ගනු ලැබීය.
කෙසේ වෙතත් මාදුරෝගේ පුත්‍රයා හසුකර ගැනීමට ඇමරිකානු හමුදාවට එහිදී හැකියාව නොලැබිණ.
වීඩියෝ පටයක් නිකුත් කරමින් නිකොලස් මදුරෝ ගුවේරා වෙනිසියුලානු ජනතාවගෙන් ඉල්ලා සිටියේ වීදි බැස අමෙරිකාවට සිය විරෝධය පළ කරන ලෙසයි.