නව අවුරුදු උදාවත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමැතුවේය.
යුක්‍රේනය සමඟ යුද්ධය ජයග්‍රාහී අයුරින් අවසන් කළ හැකි වේවි යැයි තමන් විශ්වාස කරන බව, රුසියන් ජනාධිපතිවරයා සිය නව අවුරුදු පණිවුඩය හරහා පැවැසීය.
රුසියාව, යුක්‍රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ යුක්‍රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ යනු අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවාගත් යුද සන්ධානයයි.
යුක්‍රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රුසියාවේ විශ්වාසයයි.
රුසියාව 2022 වසරේ සිට, යුක්‍රේනට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගනය කර ඇත්තේ ඒ නිසාය.
මේ වනවිට අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියන් – යුක්‍රේනය යුද්ධය නැවැත්වීමට සාම සැලැස්මක් සකස් කර ඇත.
ඊට යුක්‍රේනය සංශෝධන ද ඉදිරිපත් කර ඇති අතර අමෙරිකන් ජනධිපති ට්‍රම්ප්, පසුගිය දා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී සටන් විරාමය සම්බන්ධයෙන් සහ සාම සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ට්‍රම්ප් සහ පුටින් අතරේ ද දුරකතන කතාබහක් පැවැත්විණි.
මේ අතර, යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුක්රේන වැසියන් අමතමින් පවසා ඇත්තේ, යුක්‍රේන රජය ‘ඕනෑම කොන්දේසියක් මත’ සාමය පිළි නොගන්නා බවත්,යුක්‍රේනයයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ඕනෑම කොන්දේසියකට කැමැති වන බවත්ය.