චිකාගෝ, ලොස් ඇන්ජලීස් සහ පෝට්ලන්ඩ් යන නගරවල ස්ථාපිත කර තිබූ ජාතික ආරක්ෂක බලඇණි වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගන්නා ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.
ඒ අනුව මෙම හමුදා බලඇණි ස්ථාපිත කිරීම හේතුවෙන් එම නගරවල අපරාධ රැල්ල විශාල වශයෙන් පාලනය වූ බවයි සිය සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ.
කෙසේ වෙතත්, ඉදිරියේදී අපරාධ සංඛ්‍යාව නැවත ඉහළ ගියහොත් වඩාත් ප්‍රබල අයුරින් ෆෙඩරල් හමුදා එම නගර වෙත නැවත කැඳවීමට පසුබට නොවන බවටද ඔහු අනතුරු අඟවා තිබේ.
මේ අතර, ජනාධිපතිවරයාගේ මෙම හමුදා රැඳවීමට එරෙහිව අදාළ නගරවල නගරාධිපතිවරුන් සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණි.
ඒ අනුව පසුගිය සතියේ අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් චිකාගෝ නගරයේ හමුදා රැඳවීම අත්හිටුවීමටද තීරණය කර තිබේ.
ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයින් චෝදනා කරන්නේ ට්‍රම්ප් පාලනය විසින් දේශපාලන වාසි තකා නගර හමුදාකරණයට ලක් කළ බවත්, සාමකාමී විරෝධතා මර්දනය කිරීමට හමුදාව යොදාගත් බවයි.
මෙම හමුදා ඉවත් කර ගැනීම නෛතික වශයෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ ගත් තීරණයක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.