Latest News

අභිරහස් ලෙස වල දැමූ බිළිඳුන්ගේ සොහොන් බිමක් අයර්ලන්තයේ නගරයකින් මතුවෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අයර්ලන්තයේ ටුවාම් නගරයේ පැරණි මාතෘ නිවාසයක භූමියෙන් තවත් බිළිඳු සොහොන් බිමක් සොයාගෙන තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ මෙම ස්ථානය මීට පෙර ලොවම කැළඹූ බිළිඳු මරණ රැසක් වාර්තා වූ ස්ථානයක් බවයි.

මෙම නිවාස භූමියේ තිබූ පැරණි මළ අපද්‍රව්‍ය ටැංකියක තිබී බිළිඳුන් 796 දෙනෙකුගේ සිරුරු කොටස් මීට පෙර සොයාගෙන තිබුණි.

ඔවුන්ට කිසිදු අවමංගල්‍ය චාරිත්‍රයක් හෝ සොහොන් සලකුණක් තිබී නැති බව සඳහන්.

දැනට සිදුකෙරෙන කැණීම්වලදී, කලින් හමුවූ ස්ථානයේ සිට මීටර් 15ක් පමණ දුරින් තවත් බිළිඳුන් 11 දෙනෙකුගේ සිරුරු හමුවී තිබේ.

මෙම සිරුරු පෙට්ටිවල බහා තිබූ අතර, ඒවා පොළොව මතුපිට සිට මීටරයකටත් අඩු ගැඹුරක වළ දමා තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අලුත උපන් බිළිඳන්ගේ සිට අවුරුදු 09 දක්වා වන දරුවන් මෙහිදී වළදමා තිබූ බව සඳහන්.

ඩබ්ලින් නගරයට කිලෝමීටර් 220ක් බටහිරින් පිහිටි මෙම මාතෘ ළදරු නිවාසය 1925 සිට 1961 දක්වා ක්‍රියාත්මක වූවක්.

එහිදී විවාහයෙන් පිටත දරුවන් ලැබුණු මවුවරුන්ව ඔවුන්ගේ පවුල්වලින් කොන් කර මෙහි රඳවා තබා ඇති අතර, බොහෝ විට ඔවුන්ව දරුවන්ගෙන් වෙන් කර තිබේ.

කැතරින් කෝර්ලස් නම් ඉතිහාසඥවරිය විසින් 2014 දී කළ හෙළිදරව්වකින් පසුව මේ පිළිබඳ රජයේ පරීක්ෂණ ආරම්භ විය.

අයර්ලන්තය පුරා මෙවැනි නිවාස 18ක් තිබී ඇති අතර, වසර 76ක කාලයක් තුළ කාන්තාවන් 56,000ක් සහ දරුවන් 57,000ක් ඒවායේ රැඳී සිට ඇති බවට ඇතැම් වාර්තාවල දැක්වෙයි.

මෙම පරීක්ෂණ මගින් හෙළි වී ඇත්තේ අයර්ලන්තය පුරා පිහිටි මෙවැනි නිවාස තුළ දරුවන් 9,000ක් පමණ මියගොස් ඇති බවයි.

මෙම සිදුවීම අයර්ලන්ත ඉතිහාසයේ ‘අඳුරුතම සහ පිළිකුල් සහගතම රහසක්’ ලෙස හැඳින්වෙයි.

දැනට ආරම්භ කර ඇති මෙම කැණීම් කටයුතු වසර 2ක් පුරා සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

World News

Send your contact Details Today