අමෙරිකාව විසින් තීරුබදු අනිසි භාවිතයට සහ චීන ව්‍යවසායන් අහේතුක ලෙස මර්දනය කිරීමට දැඩි ලෙස විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් පවසයි.
ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ(24) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.
වසර 2027 සිට චීනයේ අර්ධ සන්නායක කර්මාන්තයට තීරුබදු පැනවීමේ ඇමරිකානු සැලැස්ම සම්බන්ධයෙන් ලින් ජියන් අදහස් දැක්වීය.
අමෙරිකාවේ මෙම පියවර ගෝලීය සැපයුම් දාමයන්හි ස්ථාවරත්වයට ද බලපාමින් විවිධ රටවල අර්ධ සන්නායක කර්මාන්තයේ සංවර්ධනයට බාධා කරන අතර, එය තමා ඇතුළු ඕනෑම පාර්ශ්වයකට හානිකර තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය.
රාජ්‍ය නායකයින් දෙදෙනා අතර වැදගත් එකඟතාවයේ මඟපෙන්වීම යටතේ හැකි ඉක්මනින් වැරදි නිවැරදි කර සමානාත්මතාවය, ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව සංවාදය හරහා අදාළ ගැටලු විසඳා ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියි.
චීන – අමෙරිකානු සබඳතාවන්හි ස්ථාවර, විධිමත් සහ තිරසර සංවර්ධනය පවත්වා ගෙන යාම සඳහා මතභේද නිසි ලෙස පාලනය කළ යුතු යැයි ද ලින් ජියන් වැඩිදුරටත් පැවසීය.