ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයට අයත් ප්‍රබලතම රොකට්ටුව වන LVM3 (Launch Vehicle Mark 3) මගින්, ඉන්දීය භූමියෙන් මෙතෙක් අභ්‍යවකාශගත කළ බරම චන්ද්‍රිකාව වන ‘BlueBird Block-2’ සාර්ථකව කක්ෂගත කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
අද පෙරවරු 8.55ට ශ්‍රී හරිකෝටාහි සතීෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කළ මෙම රොකට්ටුව, මිනිත්තු 15කට අපේක්ෂිත කක්ෂයට පැමිණියේය.
මෙම චන්ද්‍රිකාව කිලෝග්‍රෑම් 6,100ක බරකින් යුක්ත වේ.
එමෙන්ම මෙය වර්ග මීටර් 223ක දැවැන්ත ඇන්ටෙනා පද්ධතියකින් සමන්විත වන අතර, එය ලොව මෙතෙක් කක්ෂගත කළ විශාලතම වාණිජ සන්නිවේදන චන්ද්‍රිකාව බවයි වාර්තා වෙන්නේ.
මෙම සාර්ථකත්වය පිළිබඳ ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ, මෙය ඉන්දියාවේ අභ්‍යවකාශ ගමන් මගෙහි ආඩම්බර විය හැකි සන්ධිස්ථානයක් බවයි.
එමෙන්ම එමගින් ගෝලීය වාණිජ චන්ද්‍රිකා වෙළඳපොළ තුළ ඉන්දියාවේ භූමිකාව තවදුරටත් ශක්තිමත් වූ බවයි.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති වී. නාරායනන් මෙම මෙහෙයුම පූර්ණ සාර්ථකත්වයක් බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
චන්ද්‍රයාන්-2 සහ චන්ද්‍රයාන්-3 සාර්ථකව දියත් කළ LVM3 රොකට්ටුව මෙහෙයුම් සඳහා යොදාගත් 6 වන අවස්ථාව මෙයයි.