දක්ෂ සුන්දර නර්තන ශිල්පිනියක් ලෙස කලාව තුළ නමක් තැබූ ටානියා විශානි මුණසිංහ දැන් රංගනයටත් ඇවිත්. හිරු නාළිකාවේ මේ දිනවල විකාශය වන “තරු ආදරේ” හි “විශ්මි” ඇයයි. ඒ එක්කම ජාතික රූපවාහිනියේ විකාශය වන ආදරණිය මිනිසෙක් හි දුරංගි ද ඇයයි. අද අපේ කතාබහ නර්තනයෙන්, රංගනයෙන් දස්කම්පාන ටානියා සමඟිනි.
ටානියාගෙ පෞද්ගලික තොරතුරුවලින්ම සාකච්ඡාව අරඹමු?
මම වෘත්තීමය නර්තන ශිල්පිනියක්. මගේ සැමියා අසංග ද සිල්වා. ඔහු නර්තනාචාර්යවරයෙක්. මට පුංචි දියණියක් ඉන්නවා. මේ දිනවල විකාශය වන ‘තරු ආදරේ’ නාට්‍යය සමඟින් මම රංගනයටත් යොමුවුණා.
ඇයි රංගනයට පිවිසෙන්න මේ තරම් කාලයක් ගත්තේ?
මීට පෙර අවස්ථා ගණනකදීත් රංගනය සඳහා ආරාධනා ලැබුණා. මගේ හිතේ කැමැත්තක් තිබුණත් අසංගගේ හිතේ කැමැත්තක් තිබුණෙ නැති නිසා මාත් ඒ ගැන උනන්දු වුණේ නැහැ.
පළමු රංගන අත්දැකීම කොහොමද දැනුණේ?
තරු ආදරේ නාට්‍යයට එකතු වෙන්න ලැබෙන්නේ අහම්බෙන්. එහි නිෂ්පාදක ධනුෂ්ක ප්‍රනාන්දු ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. තරු ආදරේ නාට්‍යයේ වැඩවලට ලංකාවට ඇවිත් යන්න ආපු දවසේ උදේ අසංගට මැසේජ් එකක් දාලා තිබුණා දෙන්නත් එක්ක හමුවෙන්න එන්න කියලා. හමු වුණාට පස්සේ එයා මේ නාට්‍යය ගැනත් ‘විශ්මි’ කියන චරිතය ගැනත් කිව්වා. එයාගෙ ඔළුවෙ තිබිල තියෙන්නෙ මම. රඟපාන්න කැමතිද කියලා ඇහුවා. මම හිතේ කැමැත්ත තිබුණත් අසංගගෙ කැමැත්ත මොකක් වෙයිද කියලා මට එවෙලෙත් හිතුණා. ඒ වෙලාවෙ අසංග දෙපාරක් නොහිතාම ඒකට කැමතියි කිව්වා. ඒ විදිහට තමයි මං තරු ආදරේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. තරු ආදරේ නාට්‍යය මගේ ජීවිතේට ගොඩක් විශේෂයි. පළමු නාට්‍ය විදිහට ඒ ලබපු, ඒ වගේම තවමත් ලබන අත්දැකීම් හරිම රසවත්. අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායමෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. හැම කෙනෙක්ම හරිම ආදරණීයයි. පිටපත ලියන බුද්ධිනී ජයවර්ධන අක්කගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇයවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. විශ්මිගෙ චරිතෙට මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. තරු ආදරේ හරිම ලස්සන නාට්‍යයක්. ඉස්සරහට තවත් රසවත්….
‘ආදරණීය මිනිසෙක්’ නාට්‍යට එකතු වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
සති අන්තයේ ජාතික රූපවාහිනී නාළිකාවේ විකාශය වෙන ආදරණීය මිනිසෙක් ටෙලි නාට්‍යය සමඟ එකතු වෙන්න ලැබීමත් මට ලොකු සතුටක්. එහි අධ්යක්ෂවරයා සිවගුරුනාදන් සර්. නවක රංගන ශිල්පිනියක් විදිහට ඔහු අධ්‍යක්ෂණය කරන නාට්‍යයක රඟපාන්න ලැබීම මට ලොකු සතුටක්.
ඒ චරිතය ගැනත් කෙටියෙන් කියමු?
මම එහි දුරංගි. ඒ චරිතය හරිම පොෂ්, කිසිදේකට බය නැති හරි කෙලින් කතා කරන කෙල්ලෙක්ගෙ චරිතයක්.
දැන් දිගටම රඟපාන්නද කැමැත්ත?
අනිවාර්යයෙන්ම. නර්තනයට වගේම රංගනයටත් හැකියාව තියෙනවා කියලා මට ඉස්සර ඉඳලම හිතේ විශ්වාසය තිබුණා. දක්ෂතා වැඩි දියුණු කරගෙන ඉස්සරහට යනවට අසංගත් දැන් කැමතියි. මම දැන් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.
ආදරණීය සැමියා ගැන කතා නොකරම බැහැ. කොහොමද ඒ හමුවීම සිද්ධ වුණේ?
අසංග මට හමුවෙන්න වෙඩින් එකකදී. එදා තමයි මුලින්ම දැක්කේ. ඒ කතාබහ කාලයත් එක්ක අපි ආදරවන්තයින් බවට පත්කළා. අවුරුදු එකහමාරක් විතර ආදරය කරලා අපි විවාහ වුණා. අපිට පුංචි දුවෙකුත් ඉන්නවා.
අසංක වගේ සැමියෙක් ලැබීම ගැන අද මොකද හිතෙන්නේ?
සසරේ පෙර පිනකට මට එයාව මුණගැහුණෙ කියලයි මම හැමදාම හිතන්නේ. ඒ තරම් එයා මට ආදරෙයි. එයාගෙ මුළු ජීවිතයම මමයි දුවයි. එහෙම හොඳ තේරුම් ගැනීමක් අවබෝධයක් නැතුව මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න අමාරුයි. අසංගයි මමයි හොඳ අවබෝධයක් විශ්වාසයක් ඇතුව ජීවත් වීම නිසයි අපේ ආදරය අදටත් එදා වගේම වෙනසක් නැතුව තියෙන්නේ. එයා කලාවට, නර්තනයට අතිදක්ෂයෙක්. අසංග ද සිල්වා කිව්වම නොදන්න කෙනෙක් නැහැ. මම හැමදාම එයා ගැන ආඩම්බර වෙනවා. එයා හරිම ආදරණීය සැමියෙක් වගේම පියෙක්. මගෙත් චූටි දූගෙත් හිනාව රැඳිල තියෙන්නෙ එයා නිසයි. එයා ගැන කතා කරන්න මට දවසම මදි වෙයි. ඒ තරම් ආදරණීය සැමියෙක් මට ඉන්නේ. මගෙ මුළු ජීවිතයම එයා තමයි.
රංගනයට අසංගගෙන් ප්‍රතිචාර ලැබෙනවද?
අසංගට ගොඩක් සතුටුයි. එයා නාට්‍යය බලල මගේ අඩුපාඩු තිබුණොත් ඒවා කියලා දෙනවා. එයා දැන් හරිම කැමතියි මම රංගනය හදාරමින් රඟපානවට. එයා ඒ ගැනත් බලනවා. කෙටියෙන් කිව්වොත් එයා තමයි මගෙ හැමදේම මේන්ටේන් කරන්නේ.
පුංචි දුව ගැනත් කියමු…?
අපේ චූටි දූගෙ නම ජියානා කැට්ලින් ද සිල්වා. එයාට තාම අවුරුදු 6යි. ඒ අපි දෙන්නගෙ පුංචි සුරංගනාවි. අපේ ජීවිත එළිය වුණේ චූටි දූ අපි ළඟට ආවට පස්සේ. හරිම හුරතල් වගේම එයාට ලස්සන හිතක් තියෙනවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
රංගනයෙන් ඉදිරියටම යන්න තමා බලාපොරොත්තුව. ඒ අතරතුර නර්තන කටයුතුත් කරගෙන යනවා.