පාපන්දු ඉතිහාසයේ “GOAT” ලෙස ගෞරවාදරයට පාත්‍ර වන ආර්ජින්ටිනාවේ ලෝක ශූර නායක ලියොනල් මෙසී කොල්කටාව වෙත ළඟා වී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව කොල්කටාව වෙත පැමිණෙන මෙසී පිළිගැනීමට සහ දැක බලාගැනීමට විශාල ජනකායක් ගුවන්තොටුපළ වෙත රැස්ව සිටි බව ද සඳහන්.
ඉන්දියාවේ ප්‍රධාන නගර 4ක් කේන්ද්‍ර කරගනිමින් දින 3ක් පුරා සිය සංචාරය සිදු කිරීමට මෙසී සැලසුම් කර තිබේ.
මෙසී කොල්කටාව වෙත අද (13) අලුයම ළඟා වී ඇති අතර ඔහුගේ පූර්ණ ආරක්ෂාවට ඉන්දීය රජය විසින් විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ.
මියාමි සිට ඩුබායි හරහා පැමිණීමෙන් පසු කොල්කටාව වෙත මෙම අසහාය පාපන්දු පුරාවෘත්තය ගොඩබැස ඇති බවයි වාර්තා වන්නේ.
මෙසී පළමු වරට ඉන්දියාවට පැමිණියේ 2011 වර්ෂයේ දියි.
එලෙස පැමිණියේ ද පාපන්දු තරගාවලියකට එක්වීමට වන අතර මෙම සංචාරය හුදෙක් කිසිදු තරගයකින් තොර වීම ද විශේෂත්වයක්.
මෙවර, ‘GOAT India Tour 2025’ යටතේ ඔහුගේ කාලසටහන සෙනසුරාදා කොල්කටාහි ආරම්භ වී සඳුදා (15)නවදිල්ලියේදී අවසන් වනු ඇති.
ඒ විශේෂ රාජ්‍ය නායක හමුවීමකින් අනතුරුව බව ද වාර්තා වේ.