යුරෝපා සංගමය (European Commission) විසින්, ගූගල් (Google) සමාගම තුළ කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ජනනය කරන තොරතුරු සඳහා ප්‍රකාශකයන්ට (publishers) ප්‍රමාණවත් ලෙස ගෙවීම් නොකිරීම හෝ ඔවුන්ගේ අන්තර්ගතය ඉන් බැහැර කිරීමට අසාධාරණ කොන්දේසි පැනවීම සම්බන්ධයෙන් ඒකාධිකාරී (antitrust) නීති කඩ කරන්නේද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නිවේදනය කර තිබේ.
යුරෝපා කොමිසමේ තරගකාරීත්ව කටයුතු පිළිබඳ විධායක උප සභාපතිනී තෙරේසා රිබෙරා ප්‍රකාශ කළේ, ගූගල් විසින් ප්‍රකාශකයන්ට සහ අන්තර්ගත නිර්මාණකරුවන්ට අසාධාරණ කොන්දේසි පනවා ඇත්දැයි සහ තරගකාරී AI ආකෘති සංවර්ධකයින් අවාසිදායක තත්ත්වයකට පත් කර ඇත්දැයි සොයා බලන බවයි.
AI සේවා පුහුණු කිරීමට භාවිතා කරන දත්ත, YouTube වීඩියෝ ඇතුළුව ප්‍රකාශකයන්ට සහ නිර්මාණකරුවන්ට සාධාරණව ගෙවන්නේද යන්න මෙහිදී අවධානයට ලක්ව තිබේ.
නිර්මාණකරුවන්ට සහ ප්‍රකාශකයන්ට අනෙකුත් ගූගල් සේවාවලට ප්‍රවේශ වීමට බලපෑමක් නොවන පරිදි, ඔවුන්ගේ දත්ත AI ජනනය කරන ප්‍රතිඵලවලින් බැහැර කිරීමට අවස්ථාව තිබේද යන්නද අවධානයට ලක්ව තිබේ.
අනෙකුත් AI සංවර්ධකයින්ට ඔවුන්ගේම ආකෘති පුහුණු කිරීම සඳහා YouTube වීඩියෝ භාවිතා කිරීම ගූගල් විසින් තහනම් කරන්නේද? යන්න ප්‍රකාශකයින් විසින් පෙන්වා දෙයි.
එමෙන්ම සෙවුම් ප්‍රතිඵලවල ඉහළින්ම පෙන්වන AI ජනනය කළ සාරාංශ නිසා තම අන්තර්ගතයට සෘජු සබැඳිවල දෘශ්‍යතාව අඩු වන බවත්, එමගින් වෙබ් අඩවි වෙත පැමිණෙන පරිශීලක ප්‍රවාහය (traffic) අඩු වී දැන්වීම් ආදායම පහළ යන බවද පවසයි.
කෙසේ වෙතත්, ගූගල් සමාගම පවසා සිටියේ යුරෝපා සංගමයේ මෙම ඒකාධිකාරී විමර්ශනය නවෝත්පාදනයට බාධාවක් විය හැකි බවයි.
“මෙම පැමිණිල්ලෙන් තරගකාරීත්වය පෙර නොවූ විරූ තරම් ඉහළ වෙළඳපොළක නවෝත්පාදනය මර්දනය වීමේ අවදානමක් පවතිනවා.යුරෝපීයයන් නවතම තාක්ෂණයන්ගෙන් ප්‍රතිලාභ ලැබීමට සුදුසු බවත් AI යුගයට සංක්‍රමණය වීමේදී අපි ප්‍රවෘත්ති සහ නිර්මාණාත්මක කර්මාන්ත සමග සමීපව කටයුතු කරන්නෙමු,” යනුවෙන් ගූගල් ප්‍රකාශකයෙක් පවසයි.
මෙය ගූගල් ව්‍යාපාරික පිළිවෙත් පිළිබඳව මාසයකට අඩු කාලයකදී ආරම්භ වූ දෙවන විමර්ශනයයි.
මේ අතර EU හි ඒකාධිකාරී නීති කඩ කළ බවට වරදකරු වුවහොත්, ගූගල් සමාගමට එහි ගෝලීය වාර්ෂික ආදායමෙන් 10% දක්වා දඩයක් නියම වීමේ අවදානමක් පවතින බවයි සඳහන් වන්නේ.