වියට්නාම් හැනෝයි සිනමා සම්මාන උළෙලේදී මාරියා සම්මානනීය වූයේ එහි රඟ පෑ නළුවන් හත් දෙනාටම හොඳම නළුවා සම්මානය හිමි කර ගනිමින්…මා දන්නා ලාංකික සිනමා ඉතිහාසයේ එක් චිත්‍රපටයක රඟපෑ සියලුම නළුවන් වෙනුවෙන් ලෝකයේ හොඳම නළුවා සම්මානය හිමි වූ පළමු චිත්‍රපටය අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටයයි…..
මාරියා සම්මානනීය ඇගයුම් සටහන එතෙකින් නිම නොවේ. රුසියන් මොස්කව් සිනමා සම්මාන උළෙලේදී වසර තිස් අටකට පසු ලාංකික චිත්‍රපටයක් ඇගයීමක් ලද්දේ එම සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස මාරියා ඇගයීම ලබමින්……..අහන්න එය එතෙකින්ද අවසන් නොවේ…. ඉනික්බිතිත් සම්මානනීය වූ මාරියා
සිනමාත්මක කාව්‍යය රංගනයෙන් වර්ණවත් කළ එක් නළුවෙක් තමයි සුරන් දසනායක…….දැනෙන්නට රඟපෑ තම පළමු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්ම ලෝකයේ හොඳම නළුවා සම්මානය හිමිවීම හිතේ උපද්දන හැඟීම් කොහොම වෙන්න ඇද්ද කියලා මම ඔයාට නොකියා ඉන්නම්… ඇයි දන්නවද ඒ ? සමහර මනුස්ස හැඟීම් නිර්වචනය කරනවට වඩා හොඳම දේ තමයි ඒ හැඟීම් ළඟ නිහඬවීම……..ඒ නිහඬත්වය තුළ තියෙන
වචන වචනයෙන් කියන්න බැරි හුඟක් දේවල් කියන වග මම දන්නවා
දැන් මාරියා එක්ක ඔබත් ලෝකය වටේම ගමනක් යනවා…..හැබැයි ඔබ නළුවෙක් වෙන්නේ තදින්ම හිත රිද්දපු ප්‍රතික්ෂේපවීමක් එක්ක..ඒ අතීතය වචන නොකර බෑ
ඔව් ඒ දවස් මට කවදාවත් අමතක කරන්නත් බෑ.මම ටෙලිනාට්‍යයක රඟපාන්න ආවම අධ්‍යක්ෂවරයා හැමෝම ඉස්සරහා මට හයියෙන් බැන්නා මට රඟපෑන්න බෑ ආයේ රඟපාන්න එන්න එපා. මෙතනින් යන්න කියලා .ඒ වෙලාවෙ හිතට දැනුණ දුක වේදනාව මම වචනවලින් කියන්න දන් .නෑ.ඒත් මම ඒ දර්ශන තලයෙන් එළියට ආවෙ වේදනාව තුළින්ම ඉපදිච්ච මාර ගැම්මක් එක්ක.එදා ඒ ප්‍රතික්ෂේප වීමම තමයි මට පුදුමාකාර හයියක් වුණේ සිනමා නළුවෙක් විදිහට ගොඩනැගෙන්න.සිනමාව කියන්නේ මහ සාගරයකටත් වඩා විශාල දෙයක්.මම තාම දන්නෙ සාගරයෙන් එක බිංදුවක් විතරයි. ඒත් මම පුදුමාකාර විදිහට සිනමාවට කලාවට ආදරෙයි . මට පුළුවන් දුරක් මම ඒ මහ සාගරයේ පීනනවා
සුරන් කියන්නෙ ටෙලි නාට්‍ය සහ සිනමා නළුවෙක් වගේම අති දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක්….මිගමුව මාරිස්ටෙලා විදුහලේ volleyball පුහුණුකරු විදිහට ජීවිතය ගෙවන අතරතුර මට දැනෙන්නේ ඔහු ජීවිතයට හුස්මක් දෙන්න ජීවිතය හොයන්නෙ සිනමාවත් එක්ක
කොහොමද මාරියා රූගත කරපු ඒ දවස්වල මතකය?
හරිම සුන්දරයි. හරිම අසීරුයි. මාරියා මුළු චිත්‍රපටයෙම තියෙන්නේ එක දර්ශන තලයයි.ඒ තමයි මහ මුහුද.බෝට්ටු දෙකක් තිබුණා. අපේ බෝට්ටුවේ විසි පහක් විතර කට්ටිය හිටියා. ඇත්තටම මේ චිත්‍රපටය ඉවර වෙනකම්ම අපි හිටියේ මහ මුහුදේ.දවස් විසි දෙකක් මහ මුහුදේ මුහුදු හුළඟ මුහුදු අව්ව මුහුදු වැස්ස මේ හැම දේමත් එක්කම නිමා වෙච්ච චිත්‍රපටයක් තමයි මාරියා කියන්නේ
මාරියා එකේ කවුද මේ මාරියා ?
මාරියා කියන්නෙත් නිළියක්. හැබැයි මාරියා චිත්‍රපටය කියන්නේ නළුවන් හත් දෙනෙක් විතරක් රඟපාන එකම නිළියක්වත් නැති චිත්‍රපටයක්. මාරියාත්
රඟපානවා .මාරියා කතා කරනවා. හැබැයි මාරියා හුස්ම ගන්නේ නෑ. මාරියා කියන්නෙත් ගැහැනියක් .හැබැයි එහෙමමත් නෙවෙයි…
ඉතින් මාරියා චිත්‍රපටයේ මාරියා ගැන ඒ අපභ්‍රංශයෙන් එහා මොකුත් මම අහන්නේ නැත්තේ ඒ මාරියා කවුද බලන්න ප්‍රේක්ෂක ඔබම මේ චිත්‍රපටය බලන්න ඕනැ හින්දා. ඇත්තටම මාරියා ජනනය කරන්නේ අමුතුම රහක්. අමුතුම සිනමා ආකෘතියක්. හේමාල් රණසිංහ ,අෂාන් ඩයස් මහේන්ද්‍ර පෙරේරා ,දසුන් පතිරණ, ප්‍රියන්ත සිරි කුමාර , පුදුමාකාර අවාසනාවකට අපිට අහිමි වෙච්ච සිංහල සිනමාවේ කළු පිරිමියා දර්ශන ධර්මරාජ් සහ සුරන් දසනායක කියන අකුණු හතක් සිනමා අහසම හොල්ලගෙන රඟපෑව මාරියා ඔයත් විඳින්නම ඕනෑ….
එදා තව තත්ත්පර දහයක් පමා වුණා නම්…….. මාරියා එයි…..මහේන්ද්‍රයි ,ප්‍රියන්තයි ඇරෙන්න අනික් පස් දෙනා වෙන ලෝකෙක ඉඳන් මාරියා දිහා බලාගෙන ඉඳී….එහෙම කියද්දී හීගඩුත් පිපෙනවා නේද ?
අනේ ඔව් මහේන්ද්‍ර අයියයි ප්‍රියන්ත අයියයි ඇරෙන්න අපි පස්දෙනාම මුහුද මැද්දේ. එදා මුහුද හරිම නිශ්ශබ්දයි මට තාම ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ. රූගත කරපු දර්ශනයක් ආයෙම රූගත කරන්න හිතිලා තමයි අපි පස්දෙනා මුහුදට පැන්නෙ….හොඳටම මහන්සි වෙලා හිටියේ ඒ වෙලාවේ. මුහුද යටින් වතුර අපිව ඇතුළටම ඇදගෙන යනවා වගේ තමා දැනෙන්න ගත්තේ….අපි කෑගහනවා ඒත් බෝට්ටු වල ඉන්න ඔක්කොම හිතන්නේ අපි රඟපානවා කියලා. බැරිම තැන අපි කුණුහරප කියලා කෑ ගහන්න පටන් ගත්තා. ඒ පාර තමා එයාලට තේරුනේ මේක රඟපෑමක් නෙමෙයි අපිට මුහුද මැද කරදරයක් කියලා .ඒ වෙලාවේම පුංචි බෝට්ටුවක් පිඹගෙන වගේ අපි ළඟට ආවා.අපි
ඒකෙ එල්ලුනා. තව තත්පර දහයක් පහු වුණානම් අපි ගිහිල්ලා අර බෝට්ටුව අස්සෙම හිරවෙනවා. එහෙම වුණානම් අපිට මොකක් වෙයිද දන් නෑ සහ අපි ජීවත් වෙන එකක් නෑ. අන්තිම මොහොත ජීවිතේ බේරුනා වගේ වැඩක් එදා අපි පස්දෙනාටම වුණේ.මතක් වෙද්දි ඒ මොහොත තාමත් ඇඟම හිරි වැටෙනවා.ඒත් දැන් මාරියා බලද්දි සහ චිත්‍රපටවලට තියන ආදරේ ගැන හිතද්දි ඒ හිරි වැටිල්ල අමතකම වෙනවා.