ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා හෙට දිනය (නොවැම්බර් 29) දක්වා කාලය තුළ සියලුම දුරකථන සම්බන්ධතා අක්‍රීය කිරීමකින් තොරව ජනතාවට අඛණ්ඩව ලබා දීමට දුරකතන සේවා සම්පාදකයන් එකඟ වී තිබේ.
ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද(28) පැවති විශේෂ හමුවකදී මෙම පියවර ගෙන තිබුණි.
තවද, නොවැම්බර් 29 වන දින දක්වා ආපදා තත්ත්වය මත දුරකථන ටොප් අප් (Top Up) කිරීමේ අපහසුතා හේතුවෙන්, පෙර ගෙවුම් ශේෂය රු: 10 දක්වා පහත වැටුණු විට සීමිත කාලයක් සඳහා සීමා සහිත මිනිත්තු ප්‍රමාණයක නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ සහ සීමා සහිත ඩේටා ප්‍රමාණයක් සහිත අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීමට ද අද රජය සමඟ පැවති හමුවකදී ජංගම දුරකථන සේවා සමාගම් එකඟ වී ඇති බවයි නිවේදනය කර ඇත්තේ.
දිවයිනට බලපා ඇති ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් රටපුරා මතුවී ඇති ආපදා තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සලකා බලා මෙම පියවර ගෙන තිබේ.
ඩිජිටල් ආර්ථික, නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත්, TRCSL නිලධාරීන්, ජංගම දුරකථන සේවා සපයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් අද පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළවිය.
මෙමගින්, ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට තම හිතවතුන් සහ අත්‍යවශ්‍ය සේවා සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම අපේක්ෂා කෙරෙයි.
තවදුරටත්, සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ අඛණ්ඩව සිදු කෙරෙයි.
හැකි ඉක්මනින් සියලු සන්නිවේදන සේවා සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට රජය සහ සේවා සපයන්නන් එක්ව කටයුතු කරමින් සිටින බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.
එහිදී සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටී ඇති ස්ථාන යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
ඒ අනුව, බිඳ වැටී ඇති සන්නිවේදන යටිතල පහසුකම් කඩිනමින් අලුත් වැඩියා කිරීම සඳහා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාවේ ආපදා කළමනාකරණ ඒකකය එක්ව කටයුතු කිරීමට අමාත්‍යවරයා අවශ්‍ය උපදෙස් ලබා දුන් බව සඳහන්.
විදුලි බලය ඇණහිටීම හේතුවෙන් සම්බන්ධතා ඇණහිට ඇති ස්ථානවලට උපස්ථ විදුලි බල (Backup Power) පහසුකම් ලබා දීම සඳහා විදුලි බල මණ්ඩලය සමඟ සාකච්ඡා කර කඩිනමින් ඒවා ස්ථාපිත කිරීමට ද එකඟතාව පළ වී තිබුණි.