Latest News

Miss Universe 2025 තරගාවලියේ තවත් ජයග්‍රාහිකාවක ඉල්ලා අස්වෙයි

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර විශ්ව රූ රැජින (Miss Universe) සංවිධානය විවිධ අර්බුද සහ ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමක, තවත් ජයග්‍රාහී තරගකාරියක් සිය තනතුර අත්හැරීමට තීරණය කර තිබේ.

පසුගිය නොවැම්බර් 21 වන දින බැංකොක් නුවර පැවති 2025 විශ්ව රූ රැජින තරගාවලියේදී අයිවරි කෝස්ට් (Ivory Coast) රාජ්‍යය නියෝජනය කරමින් සිව්වන ස්ථානය දිනාගත් සහ ‘Miss Universe Africa and Oceania’ ලෙස කිරුළ පැළඳි ඔලිවියා යාසේ (Olivia Yacé) මෙලෙස හදිසියේම සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

තමන්ට මෙම තරගාවලිය හරහා විශාල ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව පසක් වූ නමුත්, ඉදිරි ගමන යා යුත්තේ ගෞරවය, අභිමානය, විශිෂ්ටත්වය සහ සමාන අවස්ථාවන් වැනි තමන් අගයන මූලධර්මයන්ට ගරු කරමින් බව ඔලිවියා සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය පවසා සිටියේ විශ්ව රූ රැජින කමිටුව සමඟ ඇති සියලුම අනාගත සබඳතා අත්හිටුවීමට ද තීරණය කළ බවයි.

තරුණියන්ට ආදර්ශයක් වීමට තමන් අපේක්ෂා කරන බවත්, වර්තමානයේ තමන්ට හිමිව ඇති සීමා සහිත භූමිකාවෙන් ඉවත්වීම හරහා තමන් අගය කරන වටිනාකම් වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවීමට හැකි වනු ඇති බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කළු ජාතික, අප්‍රිකානු සහ කැරිබියානු ප්‍රජාවන් අමතමින් ඇය ඉල්ලා සිටියේ තමන්ව පහතට ඇද දැමීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ නොදී, තමන්ට සුදුසු යැයි නොසිතන ස්ථානවලට පවා නිර්භීතව ඇතුළු වන ලෙසයි.

මෙම අත්දැකීම්වලට ස්තූතිවන්ත වන අතරම, “අප්‍රිකාවට කාලය පැමිණ ඇත” (IT’S TIME FOR AFRICA) යනුවෙන් සඳහන් කරමින් ඇය තම ගමන වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කළාය.

ඔලිවියාගේ මෙම ඉල්ලා අස්වීමට දින කිහිපයකට පෙර, එස්තෝනියාව නියෝජනය කළ බ්‍රිජිටා ෂැබැක් (Brigitta Schaback) ද සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

එස්තෝනියානු ජාතික අධ්‍යක්ෂවරියගේ සදාචාරාත්මක වටිනාකම් සහ වැඩ කිරීමේ විලාසය තමන්ට නොගැලපෙන බව පවසමින් බ්‍රිජිටා එම තීරණය ගෙන තිබුණි. කාන්තා බලගැන්වීම සහ සමානාත්මතාවය වෙනුවෙන් තමන් ස්වාධීනව කටයුතු කරන බව ඇය එහිදී අවධාරණය කළාය.

මෙවර තරගාවලිය ආරම්භයේ පටන්ම විවිධ බාධා සහ අර්බුදවලට ලක්විය. එක් තරගකාරියක් වේදිකාවෙන් වැටී තුවාල ලැබූ අතර, ඇතැම් විනිසුරුවන් තරගාවලියේ පවතින බව කියන අසාධාරණ ක්‍රියාකලාපයන් හේතුවෙන් ඉල්ලා අස්විය.

වඩාත් ආන්දෝලනාත්මක සිදුවීම වූයේ තරගාවලියට පෙර ආසියානු සහ ඕෂනියා කලාපීය සභාපති නවාත් ඉට්සාරග්‍රිසිල් විසින් මෙක්සිකානු තරගකාරියට (වත්මන් විශ්ව රූ රැජින) ප්‍රසිද්ධියේ අපහාස කරමින් ඇයව උත්සවයකින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කැඳවීමයි.

මෙම සිද්ධියට විරෝධය පාමින් අනෙක් තරගකාරියන් ඉවත්ව යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන්ගේ තරග තනතුරු අහිමි කරන බවට ඔහු තර්ජනය කර තිබුණි. පසුව ඔහු එම තනතුරෙන් ඉවත් කළ බව වාර්තා වුවද, පසුව පැවති ඡායාරූපවල ඔහු නව විශ්ව රූ රැජින සමඟ පෙනී සිටිනු දක්නට ලැබුණි.

World News

Send your contact Details Today