‘සිත මනමාලකම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
අඳුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ උණුසුම් පියාපතක
අඩුව මට දැනෙයි…‘
නිලාර් එන්. කාසිම් ලියූ මේ ගීතය විශාරද සමන්ත පෙරේරා සංගීතවත් කොට ගැයූ ජනප්‍රිය ගීතයකි. සමන්ත කොතරම් ගීත සංගීතවත් කළත්, කොතරම් ගීත ගැයුවත් මේ ගීතය තරම් ඔහුගේ ගීත අතර සංවේදී අන් ගීතයක් නැති බව ඔහු පවසයි.
මෙම ගීතය ගුවන්විදුලියේත්, රූපවාහිනියේත් ජනප්‍රියත්වයේ ඉහළින් බොහෝ කලක් එක දිගට රැඳුණු ගීතයකි. ‘නදුන් උයන’, ‘මනෝහාරි’ වැඩසටහන්වලින් ද එම ගීතයට ලැබුණේ ඉමහත් ජනප්‍රියත්වයකි. ජයන්ත චන්ද්‍රසිරිගේ ‘දඬුබස්නාමානය’ ටෙලි නාට්‍යයට ‘රකිනා දෙවි’ ගීතයත්, ‘කානු ගොයියා’ ගීතයත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අතින් සංගීතවත් ව විශාරද සමන්ත පෙරේරා ගැයූ අපූරු ව අදටත් මාධ්‍ය ඔස්සේ සවන් වැකේ. ආචාර්ය කේමදාසයන් ඇසුරේ බොහෝ කලක් නිර්මාණ කාර්යයට දායක වීමෙන් ලද පන්නරය ඔස්සේ ඔහු කළ පර්යේෂණාත්මක නිර්මාණ රසික ආදරයට සේ ම සම්මානයට ද පාත්‍ර විය. ඔහු ගැයූ ගීතවලට වඩා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සඳහා ඔහු සංගීතවත් කළ ගීත වැඩි ප්‍රමාණයකි. ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් එම නිර්මාණවලට ලැබුණේ පුදුමාකාර ජනප්‍රියත්වයක් සහ වටිනාකමකි. ඉතා ම මෑතකදී තිරගත වුණු ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ ‘එඩි බින්දා’ තේමා ගීතය ගායනා කිරීමෙන් වසරේ ජනප්‍රියතම සිනමා ගීතයට හිමි හිරු සිනමා සම්මානය විශාරද සමන්ත පෙරේරාට හිමි වූ අතර එම ගීතය මෑතදී බෙහෙවින් ඇගයුණු අපූර්ව ගීතයක් බවට ද පත් විය. ඔහුගේ හඬ පෞර්ෂයත්, සුගායනීය මිහිරත් එක් වුණු කල්හි ගීතයක් අපූර්වත්වයට පත් වන්නේ එහි විශාරද සමන්ත පෙරේරා නම් ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියාගේ අනන්‍යතාව ද මතු කරමිනි.
“පුංචි කාලේ ඉඳලා ම සංගීතයත් එක්ක බැඳුණු ජීවිතයක් මට තිබුණා. ගෙදර තිබුණු සර්පිනාවට මගෙන් කිසි විවේකයක් තිබුණේ නැහැ. මගේ මවුපියන් කලාවට ලොකු නැඹුරුවක් තිබුණු අය යි. ඒ වගේ ම මගේ සිංහල ගුරුතුමිය වන මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ බිරිඳ කුසුම් දිසානායක ගුරුතුමිය නිසා සිංහල භාෂාව මම ඉතා ම කැමැත්තෙන් ඉගෙන ගත්තා. 1991 සිට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මියයනතුරු ම මම එතුමා සමඟ වැඩ කළා. එතුමාගේ බොහෝ සංගීත නිර්මාණවලට මම සම්බන්ධ වුණා. ඊට පෙර විශාරද බී. වික්ටර් පෙරේරා මහතාගෙන් හින්දුස්ථානි රාගධාරි සංගීතය ඉගෙන ගත්තා. අශෝක ජයවර්ධන මහතාගෙන් වයලීන වාදනය ඉගෙන ගත්තා.
අධ්‍යාපනය ගැන කියනවානම්, මම දෙහිවල අත්තිඩිය ගමේ ඉපදිලා, අත්තිඩිය මලගලගේ කනිෂ්ඨ විද්‍යාලයටත්, පසුව හයේ සිට උසස් පෙළ දක්වා කොළඹ තර්ස්ටන් විද්‍යාලයටත් ගියා. ඒ අතර ගුවන්විදුලියේ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ගුරුවරු හොයාගෙන ගිහින් මට අවශ්‍ය දේවල් ඉගෙන ගත්තා. රත්මලාන ශ්‍රී රතනපාල දහම් පාසලේ මම ඉගෙනීම් කරන කාලේ සංගීත කටයුතු රැසකට සම්බන්ධ වුණා. ඒ වගේ ම දහම් පාසලෙන් මගේ ජීවිතයට පුදුම විනයක්, හැදියාවක්, ගරුත්වයක් ලැබුණා. මගේ නිර්මාණ කටයුතු ඒ අතර කළා. ටෙලි නාට්‍ය දෙසීයක පමණ, චිත්‍රපටත් පහළොවක පමණ මම සංගීත නිර්මාණය කළා. ඒ වගේ ම ටෙලි නාට්‍ය පනහක පමණ මම ගීත ගායනා කළා. චිත්‍රපට ගීතත් විස්සක් තිහක් වගේ ගායනා කරලා තියෙනවා.
මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ ‘මහාසමය’ ඔපෙරාව ‘නෙළුම් පොකුණ’ ප්‍රාසාංගික රංග ශාලාවේදී විසි වතාවක් පමණ පැවැත්වූවා. ඒ හැම දවසක ම ‘නෙළුම් පොකුණ’ සම්පූර්ණයෙන් ම පිරුණා. ඊට පස්සේ ‘නාද තීර්ථ’ නමින් මගේ ම සිම්ෆනි ප්‍රසංගයක් පැවැත්වූවා. එහිදී මම මියගිය කලාකරුවන් පස්දෙනකුගේ නිර්මාණ එකතුවක් ප්‍රතිනිර්මාණය කළා. ඒ වගේ ම බටහිර සහ හින්දුස්ථානි සංගීත සුසංයෝගයක් සහිත ගායන, වාදන නිර්මාණයක් කළා. ‘යශෝදරාවත’ නමින් එහිදී නාද කාව්‍යයකුත් ඉදිරිපත් කළා. ‘රණවිරු රියල් ස්ටාර්’, ‘රජත රශ්මි’ වැඩසටහන්වලටත් සම්බන්ධ වෙලා සංගීත නිර්මාණකරණයත් කළා. ජාතික නාළිකාව වගේ ම අනෙකුත් නාළිකාවලටත් මම නිතර සම්බන්ධ වුණා.”
මේ සියලු නිර්මාණ සඳහා රසික සහෘද සම්මාන සේ ම මෙරට පිළිගත් සම්මාන රැසක් ද විශාරද සමන්ත පෙරේරා වෙත පිරිනැමුණු අතර පසුගිය දිනකදී ‘පුරවැසි අභිමන් සිංහාවලෝකන’ ජීවිතයේ එක් වතාවක් හිමි වන සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේ ය. එසේ ම සිය නිර්මාණ උදෙසා ජාතික සම්මාන 20කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර ‘සකර්ම’ ටෙලි නාට්‍ය වෙනුවෙන් සුමති සම්මාන ද ‘දස්කොන්’ ටෙලි නාට්‍ය වෙනුවෙන් එක ම අවුරුද්දේ සම්මාන 5ක් ද 2018 දී ද එක ම ටෙලි නාට්‍යයක් සඳහා සම්මාන 4ක් ද ආදී වශයෙන් සම්මාන ලැබිණි.
“අපේ නිර්මාණ කටයුතුවලට ලබා දෙන නව ජවයක් නිසා සම්මානයක් ලැබීම ගොඩාක් වටිනවා. මගේ ගුරු භූමිකාවටත් එයින් වැඩි වටිනාකමක් එක් වෙනවා. කොවිඩ් වසංගතයටත් බොහෝ කාලෙකට පෙර සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලෝකයේ විවිධ රටවල සිටින මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සංගීතය ඉගැන්වීම් අදටත් මම ඒ ආකාරයට ම කරගෙන යනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් කලක් මම කටයුතු කළා. ඊට අමතර ව මාසෙකට ගීත හය හතක් අදටත් මගේ අතින් නිර්මාණය කෙරෙනවා. ඒ ඔක්කොම ගීත මට කියලා නිර්මාණය කරවා ගන්නේ අලුත් අය යි. ඒ අතර අපේ ගුවන්විදුලියෙන් බිහිවුණු ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන ත්‍යාගා එන්. එඩ්වඩ් පසුගිය දවසක අලුත් ම ගීතයක් මගේ සංගීත නිර්මාණයෙන් යුතුව පටිගත කළා.
ඇත්ත වශයෙන් ම අපේ ඉතා ම දක්ෂ ප්‍රවීණ ශිල්පීන් බහුතරයක් අද නව නිර්මාණ එළිදැක්වීමෙන් බැහැර වෙලා තියෙනවා. ගීතයක් නිර්මාණය කරවා ගැනීම සඳහා වර්තමානයේ දරන්න සිදු වන පිරිවැය, සමහර ශිල්පීන්ට මුල් කාලයේ වාගේ ගීත ගයන්න අපහසුකම, සමහරු අසනීප වී සිටීම වගේ කරුණු නිසා නව ගීත නිර්මාණකරණයෙන් ඉවත් වී සිටිනවා. හැම අතින් ම හැකියාව තියෙන අය වුණත් අලුත් නිර්මාණයක් කරන්න පෙලඹෙනවා හරි ම අඩුයි.
තව හේතුවක් තමයි අද බොහෝ ගීත ප්‍රචාරය වන්නේ යූටියුබ් චැනල හරහා යි. ඉස්සර අපි ගීතයක් පටිගත කරලා දුන්නේ ගුවන්විදුලියට යි. එහෙම නැත්නම් ගීත පටිගත කළේ ගුවන්විදුලියෙනුයි. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. අලුත් තාක්ෂණයත් එක්ක යන්නේ නැතුව මේ ගමන යන්න අද හරි අමාරුයි. මේ වගේ කරුණු නිසා ප්‍රවීණයින් බොහෝ දෙනෙක් අලුත් නිර්මාණ කරන්න මහන්සි වෙන්නේ නැහැ. ඒ අතර අලුත් පරපුරේ අය පරණ දේවල් කිසි දෙයක් දන්නේ නැහැ. එයාලා එයාලාගේ දේවල් ඔහේ කරගෙන යනවා. බහුතරයකගේ අලුත් නිර්මාණවල කිසි ප්‍රමිතියක් නැහැ. පරම්පරා දෙක අතර තියෙන වෙනස සහ ගැටුමක් තියෙනවා නම් ඒවාට හේතු ඔන්න ඕවා යි.”
ඔස්ට්‍රේලියාවේ පර්ත්හි සේනක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරින් පිරිසක්, මවුපියන් ආදිය සම්බන්ධ වීමෙන් පවත්වාගෙන යන සිංහල ඉස්කෝලේ සංගීත විෂය භාර ව කටයුතු කරන විශාරද සමන්ත පෙරේරා එහි දරු දැරියන් සමඟ මේ දිනවල ඔපෙරාවක් සඳහා නිරතුරුව පුහුණුවීම් සිදු කරන්නේ ය. එම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන්නේ නිරෝෂා දිල්හානි මහත්මිය යි.
“ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සිංහල පවුල්වල දරුවන් රැසක් මේ පාසලේ ඉගෙන ගන්නවා. වසර දහයක විතර ඉඳලා මමත් ඒ පාසල සමඟ සම්බන්ධ ව කටයුතු කරනවා. සංගීත වැඩමුළු පවත්වනවා. ලබන වසරේදී ඔපෙරාව වේදිකාගත කිරීමට සූදානම් වෙනවා. එහේ ළමයින් සිංහල කතා කරනවා අඩුයි. නමුත් මවුපියන් දරුවන්ට සිංහල ඉගැන්වීම සඳහා පුදුම මහන්සියක් දරනවා. ඒ දරුවන් එක්ක කරන ඔපෙරාවේ පුහුණුවීම් කිරීමට මම පසුගිය දිනවල ඔස්ට්‍රේලියාවට ගියා.
“සීගිරිය” ලෙස නම් කළ මේ ඔපෙරාවේ බටහිර සංගීතය වගේ ම පෙරදිග සංගීතය, අපේ ජන නාදමාලා ආදියත් ඇතුළත් වෙන නිසා සුදු ජාතිකයින්ට, ඔස්ට්‍රේලියානුවන්ට ප්‍රදර්ශනය කිරීමට මට ලොකු කැමැත්තක් තියෙනවා. ඒ පුහුණුවීම් කරලා ලංකාවට පැමිණි විගස ම ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ අලුත් ම ගීතය පටිගත කළා. ඊට අමතර ව මම සංගීතවත් කළ ටෙලි නාට්‍ය කිහිපයක් ම එක පෙළට විකාශය වෙනවා. ‘ලවර්ස් ලීප්’ සහ ‘හිද්දලයෝ’ නාට්‍ය දෙක මේ දවස්වල විකාශය වෙනවා. ‘සකර්ම’ සහ ‘ඉර මැදියම’ නාට්‍ය විකාශය අවසන් වුණා. ‘සූර්’ චිත්‍රපටයේ සංගීත නිර්මාණ කටයුතු මේ දිනවල කරගෙන යනවා. ඒ අතර වේදිකා ප්‍රසංගවලටත් ඇරයුම් ලැබෙනවා. නමුත් මම ගොඩාක් කාර්ය බහුල නිසා වේදිකා ප්‍රසංගවලට නම් තෝරා බේරාගෙන වැඩිය දුර යන්න නැති ඒවාට විතරක් සම්බන්ධ වෙනවා. අනික අද වේදිකාව හරියට වෙනස් වෙලා. සංස්කෘතිය, සභ්‍යත්වය, එකමුතුකම් ආදියත් පලුදු වෙලා. අද දරුවෝ සමාජය, සභ්‍යත්වය, සංස්කෘතිය, තව කෙනෙක් එක්ක ගනුදෙනු කරන විදිහ, කොටින් ම ජීවත් වෙන්න දන්නේ නැහැ.
මවුපියෝ ඒ දේවල් දරුවන්ට කියලා දෙන්නෙත් නැහැ. පාසල්වලින් දරුවන් ව හදන්නෙත් නැහැ. ස්මාර්ට් ෆෝන් එකෙන් අද දරුවෝ මුලු ලෝකය ම දකිනවා. නමුත් පාසලට ගියා ම යල්පැන ගිය දේවල්වලින් පොත් පිටු පුරවනවා. අද නිසි සෞන්දර්ය අධ්‍යාපනයක් නැහැ. පුද්ගලයා තුළ මනුස්සකම ගොඩනැගුවේ සෞන්දර්ය කලාව හරහා යි. මේ නිසා සෑම දරුවෙක් ම සෞන්දර්ය, කලාව හැදෑරිය යුතුයි. මොන ආකාරයකින් හෝ ඒ සඳහා පෙලඹවීම ගොඩාක් වටිනවා. විශේෂයෙන් ම අන් අය සමඟ ඇසුරු කරන්න දරුවෝ කලාව, සෞන්දර්ය නිසා ඉගෙන ගන්නවා. සාමූහික ව වැඩ කරන්න ඉගෙන ගන්නවා. සමාජය දකින්න හුරු වෙනවා. අද බොහෝ භාරධූර රැකියාවල නිරතව සිටින වෘත්තිකයින් විනෝදාස්වාදය සහ මානසික සුවතාව වෙනුවෙන් කලාව, සෞන්දර්ය හදාරනවා. ඇත්ත වශයෙන් ම එයින් පුදුමාකර සුවයක් ලැබෙනවා.”
ජීවිතය කොතරම් සෞන්දර්යයෙන් කාර්ය බහුල වුණත් දුරු රටක වෙසෙන තම දරුවන්ගේ සුවදුක් විමසීම මේ වනවිට සමන්තගේත්, සිය බිරිඳ මහේෂිගේත් දින චර්යාවේ කොටසක් බවට පත්ව ඇත. දරුවන් තුන්දෙනා ම ලංකාවේ නැහැ. ලොකු පුතා යශාරු පංකජ පෙරේරා සෞන්දර්ය කලා සහ ශබ්ද ඉංජිනේරුවේදය ඉගෙන ගෙන සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පාඨමාලාවකුත් සම්පූර්ණ කරලා රෝහලක රැකියාව කරනවා. දෙවැනි පුතා නිරුපධි තිශාක්‍ය පෙරේරා මනෝවිද්‍යාව පිළිබඳ ඉගෙනීම් කටයුතු කරනවා. දුව දෙව්ලි මාශෙන්කා පෙරේරා ජීව විද්‍යා අංශයෙන් ඉගෙනීම් කටයුතු කරනවා. ඒ තුන්දෙනා ම ඔස්ට්‍රේලියාවේ එක ම ගෙදරක එකට ජීවත් වෙනවා. දරුවන්ගේ අම්මා මගේ බිරිඳ එයාලා ගැන තුන් තිස් පැය පුරා ම දුරකතනය ඔස්සේ කතා කරමින් දුක සැප විමසනවා, එයාලා ගැන සොයා බලනවා. එයාලා ඔස්ට්‍රේලියාවට ගිය දවසේ ඉඳලා මේ දක්වා ම අපේ නිෙවස හරියට සන්නිවේදන මධ්‍යස්ථානයක් වගෙයි. කොයි වෙලාවේ බැලුවත් කවුරු හෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් දුරකතනයේ ඉන්නවා.
පහුගිය දවස්වල අපි දෙන්නා ම එහේ ගිහින් ටික දවසක් ඉඳලා ආවා. දරුවෝ තුන්දෙනා ම කාර්ය බහුලයි. නමුත් එයාලා සංගීත හැකියාව අතෑරලා නැහැ. තුන්දෙනාට ම හොඳට ගයන්න පුළුවන්කම තියෙනවා. පොඩි පුතා සංගීතය ඉගැන්වීම් කරනවා. පුතාලා දෙන්නා ම සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා ප්‍රසංග අවස්ථාවලදී වාදනය, ගායනය කරනවා. දුව ගායනයටත් වඩා නර්තනයට සම්බන්ධ යි. තුන්දෙනා ම සමහර වෙලාවට එකම ප්‍රසංගයේ ගායන, වාදන, නර්තනවලට එකතු වෙනවා. එයාලා ඉගෙනීම්, රැකියා සියල්ල අතර විනෝදාස්වාදයත් උපරිමයෙන් ලබනවා. බිරිඳ මහේෂි හැමදෙයක් ම හොයලා බලනවා. සමහර වෙලාවට සොයා බලනවා වැඩි ද මන්දා. කවදාවත් දරුවෝ දෙමවුපියන්ගේ සිත් රිදවන්න හොඳ නැහැ. දෙමවුපියොත් දරුවන්ට කවදාවත් නම කියලා කතා කරන්න නරක යි. දුවේ, පුතේ කියන තරමට ඒ බැඳීම් හරි වැඩියි. මේ සමාජය යහපත් වෙන්නේ ඒ බැඳීම්වල ශක්තිමත්කම මතයි.”