Latest News

G20 රාජ්‍ය නායක සමුළුව හෙට දකුණු අප්‍රිකාවේදී ඇරඹෙයි

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ආර්ථිකයේ බලවත්ම රාජ්‍යයන් අතර වාර්ෂිකව පැවැත්වෙන ජි-20 දෙදින සමුළුව හෙට (22) දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේදී ඇරඹේ.

20 වැනි වරටත් පැවත්වෙන ජි-20 සමුළුවට දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වය ලැබී ඇත්තේ පළමුවරට බවත්, එය අප්‍රිකානු කලාපයේ පැවැත්වෙන පළමු ජී-20 සමුළුව බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව ධනවත්ම සහ සංවර්ධිත රටවල රාජ්‍ය නායකයන් 42 දෙනකු සහභාගි වීමට නියමිත මෙවර සමුළුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වර්ජනය කර ඇති අතර, අමෙරිකාවේ නියෝජනයකින් තොරව කිසිදු තීරණයක් නොගන්නා ලෙස දකුණු අප්‍රිකාවට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

දකුණු අප්‍රිකාවේ සුදු ජාතික ගොවීන්ට එරට රජයෙන් වෙනස්කොට සැලකීම සිය වර්ජනයට හේතු වූ බව මීට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර, එම ප්‍රකාශය හෙළා දකින බව මෙවර සමුළුවේ සභාපතිත්වය දරන දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්පෝසා නිවේදනය කළ බව ද වාර්තා වේ.

දැඩි ආරක්ෂක රැකවල් මැද පැවත්වෙන ජී-20 සමුළුව සඳහා ඩොලර් මිලියන 38.7ක මුදලක් වැය වනු ඇතැයි දකුණු අප්‍රිකානු රජය ඇස්තමේන්තු කර ඇතැයි ද වාර්තා වේ.

දේශගුණික විපර්යාස, දිළිඳු රටවල් සඳහා ණය ලබාදීම සහ අසමානතාව තුරන් කිරීම මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමුවනු ඇතැයි ද වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ද මෙවර සමුළුවට සහභාගි නොවන අතර, රුසියානු ජනාධිපතිවරයා සමුළුවට එක් නොවන්නේ යුක්රේන යුද ගැටුම් මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට දකුණු අප්‍රිකාව බැඳී සිටීම හේතුවෙන් බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඔස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බනීස්, බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා, කැනඩාවේ අගමැති මාක් කර්නි, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් ඇතුළු ජර්මනිය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉතාලිය, ජපානය, දකුණු කොරියාව, තුර්කිය, බ්‍රිතාන්‍යය රටවල රාජ්‍ය නායකයන් සමුළුවට සහභාගි වන බව තහවුරු කර ඇති අතර, මේ වනවිටත් රාජ්‍ය නායකයන් දකුණු අප්‍රිකාවට පැමිණෙමින් සිටින බවද වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ යුරෝපා සංගමයේ සභාපතිනිය මේ වන විට දකුණු අප්‍රිකාවට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

World News

Send your contact Details Today