‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (21) පැවැත්වේ.
එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පාකිස්තාන සහීන්ස් (‘ඒ’) කණ්ඩායමට එරෙහිව රාත්‍රී 8.00ට දෙවැනි තරගයට එක්වේ.
පෙරේදා රාත්‍රියේ කටාරයේ දෝහා නුවර වෙස්ට් එන්ඩ් පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති බංග්ලාදේශ ‘ඒ’ පිලට එරෙහිව තීරණාත්මක මූලික වටයේ අවසන් තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් සමඟ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමිනි.
පාකිස්තානය ‘බී’ කාණ්ඩයේ අපරාජිතයන් ලෙස මේ තරගයට එක්වන අතර, බංග්ලාදේශය ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා ලෙසත්, ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ දෙවැනි ලෙසත් අවසන් පූර්ව වටයට එක් විය.
මේ තරගාවලිය පසුගිය වසරේ ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර තරගාවලිය ලෙස පැවති අතර, එම තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ පාකිස්තාන ‘ඒ’ පිල පළමු අවසන් පූර්ව තරගයේදී ද හමු විය.
එහිදී ශ්‍රී ලංකා පිල කඩුලු 7ක ජයක් හිමිකර ගෙන තිබේ.
පෙරේදා ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශ පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 153ක් පමණි.
‘ඒ’ කාණ්ඩය යටතේ පැවති මේ තරගයේ ප්‍රතිඵලය මත ඇෆ්ගනිස්තාන ‘ඒ’ පිලේ ඉදිරි ගමන තීරණය වන බැවින් ඔවුන්ට බංග්ලාදේශ ජය ගැනීම අත්‍යවශ්‍ය විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජයත් සමඟ ඇෆ්ගනිස්තානය තරගාවලියෙන් ඉවතට විසි විය.
එහිදී ශ්‍රී ලංකා ජයග්‍රහණ වෙනුවෙන් සහන් ආරච්චිගේ පන්දු 49කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 69ක්, නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 14කින් ලකුණු 23ක් රැස් කරමින් දායක වූ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ දුනිත් ලකුණු 19කට කඩුලු 3ක් ද බිඳ දමමින් තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තේය.
මේ තරගාවලියේ අවසන් මහ තරගය මේ ඉරිදා රාත්‍රී 8.00ට දෝහාහිදී පැවැත්වේ.