Facebook, Instagram ඇතුළු සමාජ ජාල රැසක් අයත් මේටා සමාගමේ ප්‍රධාන කෘතිම බුද්ධි (AI) විද්‍යාඥයා වන යෑන් ලෙකන් එම සමාගම හැරයාමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවල දැක්වෙන්නේ Facebook නිර්මාතෘ, මාර්ක් සකර්බර්ග් විසින් එම සමාගමේ AI මෙහෙයුම් රැඩිකල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කරන මොහොතක, ලෙකන් තමාගේම ආරම්භක ව්‍යාපාරයක් (start-up) වෙනුවෙන් මේටා සමාගමෙන් ඉවත්වීමට සැලසුම් කරමින් සිටින බවයි.
නවීන AI ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සලකනු ලබන ටියුරින් සම්මානලාභී ලෙකන්, ඉදිරි මාස කිහිපය තුළදී, අමෙරිකාවේ අධි තාක්ෂණික සමාගම් පිහිටි සිලිකන් නිම්නයෙන් ඉවත්වන බව සමීපතමයන්ට පවසා තිබෙන බව සඳහන්.
ලෙකන්, ප්‍රංශ-අමෙරිකානු තාක්ෂණික හා කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශේෂඥයෙක්.
දැනටමත් නව ව්‍යාපාරයක් සඳහා අරමුදල් රැස් කිරීම පිළිබඳව මුල් සාකච්ඡා පවත්වමින් සිටින බව එක් ආරංචි මාර්ගයක් පවසා තිබුණි.
මෙම පිටවීම සිදුවන්නේ, සකර්බර්ග්, OpenAI සහ Google වැනි ප්‍රබල තරඟකරුවන්ට අභියෝග කිරීමේ අරමුණින් Meta හි AI උපායමාර්ගය වෙනස් කිරීම නිසයි.
මෙටා තරඟකාරීත්වය අතින් පසුබසින බවට තීරණය කිරීමෙන් පසු, සකර්බර්ග් සමාගමේ අවධානය මූලික AI පර්යේෂණ (Fair) වෙතින් ඉවතට හරවා, මාදිලි සහ AI නිෂ්පාදන වඩාත් වේගයෙන් එළිදැක්වීම කෙරෙහි යොමු කර තිබුණේය.
ලෙකන් 2013 සිට Fair පර්යේෂණාගාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
මෙම ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස, සකර්බර්ග් පසුගිය කාලයේදී දත්ත-ලේබල් කිරීමේ ආරම්භක ව්‍යාපාරයක් වන Scale AI හි නිර්මාතෘ ඇලෙක්සැන්ඩර් වැන්ග් ඩොලර් බිලියන 14.3 කට බඳවා ගත්තේය.
ඔහු මෙටා හි නව ‘සුපිරි බුද්ධි’ (superintelligence) කණ්ඩායම මෙහෙයවීමට පත් කළේය.
මේ හේතුවෙන්, මීට පෙර ප්‍රධාන නිෂ්පාදන නිලධාරී ක්‍රිස් කොක්ස් වෙත සිය රාජකාරි වාර්තා කළ ලෙකන්, දැන් වැන්ග් වෙත වාර්තා කරයි.
මෙම උපායමාර්ගික පෙරළිය ඇතිවූයේ, මෙටා හි මෑත කාලීන Llama 4 මාදිලිය Google, OpenAI, සහ Anthropic වෙතින් ලැබුණු අති නවීන මාදිලිවලට වඩා දුර්වල ලෙස ක්‍රියා කිරීමෙන් පසුවයි.
එසේම, එහි Meta AI Chatbot පාරිභෝගිකයින් අතර අවධානය දිනා ගැනීමට අපොහොසත් වී තිබේ.
ලෙකන්ගේ පිටවීමට එක් හේතුවක් වී ඇත්තේ සකර්බර්ග්ගේ AI දැක්ම සමඟ ඔහුට ඇති වූ මතභේදයයි.
සකර්බර්ග් සිය උපායමාර්ගයේ කේන්ද්‍රස්ථානය බවට පත් කර ඇති විශාල භාෂා මාදිලි (LLMs) ප්‍රයෝජනවත් වුවද, ඒවාට මිනිසුන් මෙන් තර්ක කිරීමට හා සැලසුම් කිරීමට කිසි විටෙකත් නොහැකි වනු ඇතැයි ලෙකන් දිගු කලක් තිස්සේ තර්ක කර තිබුණේය.
ඒ වෙනුවට, Fair තුළ සිටියදී, ලෙකන් අවධානය යොමු කළේ ලෝක මාදිලි (world models) ලෙස හැඳින්වෙන AI පද්ධතිවල නව පරම්පරාවක් සංවර්ධනය කිරීම කෙරෙහියි.
මෙම පද්ධති සැලසුම් කර ඇත්තේ භාෂාවෙන් පමණක් නොව, වීඩියෝ සහ අවකාශීය දත්තවලින් ඉගෙන ගැනීමෙන් භෞතික ලෝකය අවබෝධ කර ගැනීමටයි.
එමඟින් මිනිසුන්ගේ මට්ටමටම කෘත්‍රිම බුද්ධියක් ඇති යන්ත්‍ර බලගැන්වීමට ඔහු බලාපොරොත්තු වේ.
කෙසේ වෙතත්, මෙය සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීමට දශකයක් ගත විය හැකි බව ලෙකන් පවසා තිබීම ගැටලු සහගත් තත්වයක්.
ලෙකන්ගේ ඉදිරි ව්‍යාපාරය ද ලෝක මාදිලි පිළිබඳ ඔහුගේ කාර්යය තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ඔහුට සමීප පුද්ගලයන් දෙදෙනෙකු පවසා තිබේ.
ලෙකන්ගේ පිටවීම, ඩොලර් ට්‍රිලියන 1.6ක් වටිනා මෙටා සමාගමේ කැළඹිලි සහිත වසරක් තුළ සිදුවන නායකත්ව සහ ආයතනික ප්‍රතිසංවිධානයන් මාලාවක නවතම සිදුවීමයි.
AI නායකයෙකු වීමට සකර්බර්ග්ගේ බිලියන ගණනක ආයෝජනයෙන් ප්‍රතිලාභ ලැබෙන බව පෙන්වීමට ඔහුට වඩ වඩාත් පීඩනය එල්ල වී තිබේ.
මීට පෙර, AI පර්යේෂණ පිළිබඳ උප සභාපති ජොයෙල් පිනෝ මැයි මාසයේදී ඉවත් වී කැනේඩියානු AI ආරම්භක ව්‍යාපාරයක් වන Cohere හා එක්විය.
තවද, මේටා සමාගම පිරිවැය කපා හැරීම සහ නිෂ්පාදන වේගයෙන් එළිදැක්වීම සඳහා එහි AI පර්යේෂණ ඒකකයේ පුද්ගලයන් 600 ක් පමණ සේවයෙන් ඉවත් කර තිබේ.
මීට අමතරව, OpenAI හි ChatGPT හි සම-නිර්මාතෘ ෂෙන්ජියා ෂාඕ Meta හි Superintelligence Lab හි ප්‍රධාන විද්‍යාඥයා ලෙස ඉහළ වැටුපකට බඳවා ගැනීම ද සිදුවිය.