2025 ක්‍රිකට් ආසියානු කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමට කුසලානය භාරදෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) ප්‍රධානී මොහ්සින් නක්විගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
පාකිස්තානයට එරෙහිව අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු ඉන්දියාව, නක්විගෙන් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි මෙම කුසලාන ගැටුම ආරම්භ වූයේ.
කුසලානය දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි ACC කාර්යාලයේ අල්මාරියක තබා අගුළු දමා තබා තිබෙනවා.
තම්ස්ස් නොමැතිව එය ඉන්දියාවට භාර නොදෙන ලෙස නක්වි කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබුණා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා, BCCI හි ACC නියෝජිත රජීව් ශුක්ලා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු අනෙකුත් සාමාජික මණ්ඩලවල නියෝජිතයෝ ද පසුගිය සතියේ මේ පිළිබඳව ACC සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා.
කෙසේ වෙතත්, නක්විගේ ප්‍රතිචාරය වූයේ BCCI හි යම් අයෙකු ඩුබායි වෙත පැමිණ තමාගෙන් පෞද්ගලිකව කුසලානය රැගෙන යා යුතු බවයි.
BCCI විසින් පෞද්ගලිකව කුසලානය ලබා ගැනීම ක්ෂණිකවම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.
මෙම කාරණය ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) රැස්වීමේදී තීරණය වීමට ඉඩ ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මොහ්සින් නක්වි ACC ප්‍රධානි ධුරයට අමතරව PCB ප්‍රධානියා මෙන්ම පාකිස්තානයේ ෆෙඩරල් අමාත්‍යාංශයේ අමාත්‍යවරයෙකු ද වනවා.
මේ වසරේ අප්‍රේල් 22 වන දින සිදු වූ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර සබඳතා දැඩි උණුසුම් තත්ත්වයක පැවතීම මීට හේතුවයි.