Latest News

අසල්වැසියෝ හි සුරංගනී ‘සුදු අම්මා’ ලෙසින් යළිත් ඔබේ නිවෙසට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර ගණනාවකට පසු ප්‍රියා රණසිංහ ප්‍රවීණ රංගනවේදිනිය පුංචිතිරයේ ප්‍රේක්ෂකයා හමුවට එන්නීය. ඒ මේ දිනවල විකාශය වන ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ ටෙලිනාට්‍ය ඔස්සේය.

“වසර ගණනකට පස්සෙයි මම ප්‍රේක්ෂකයා හමුවට එන්නේ. ඒ දිලුක ප්‍රසාද් ගුණතිලකගේ ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ ටෙලිනාට්‍යයේ ආච්චි කෙනකුගේ චරිතයෙන්. දිලුකම තමයි සහාය අධ්‍යක්ෂ ලවා මට ආරාධනා කළේ. මම දිලුක නිසාමයි ටෙලිනාට්‍යය භාරගත්තේ. දිලුක කියන්නේ දක්ෂ, තරුණ අධ්‍යක්ෂවරයෙක්. ඔහු ආර්ටිස්ලාට නිදහසේ රඟපාන්න දෙනවා. මම මෙහි රඟපාන්නේ අවුරුදු 23ක 24 ක පිරිමි ළමයකුගේ ආච්චි කෙනෙක් විදිහට. මගේ මුණුබුරාත් ඒ වයසේම තමයි . කැළුම් දන්තනාරායන තමයි මගේ මුණුබුරාට ඉන්නේ. මේ නාට්‍යයේ මම රඟන චරිතය හඳුන්වන්නේ ‘සුදු අම්මා‘ කියලා. දිලුක ඒ චරිතය මට හඳුන්වාදුන්නේ එහි තියෙන්නේ කරුණාවන්ත ආච්චි කෙනෙකුගේ චරිතයක් කියලයි. ඉදිරියේදී චරිතය මොන වෙනස්කම්වලට ලක්වෙයිද කියන්න බැහැ. දිනූෂ දිසානායක, කැළුම් දන්තනාරායන, දේව් සුරේන්ද්‍ර වැනි අයත් එක්ක මෙහි මම රඟපෑවේ.”

මැහුම් පාඨමාලාවක් ද කරගෙන ගිය ඇය කලක් රට පුරාම ඒ පිළිබඳ පන්ති ද පවත්වා ගෝලයන් රැසක් බිහිකළාය. ටෙලිනාට්‍ය සඳහා කාන්තා ඇඳුම් නිර්මාණය ද ඇය විසින් සපයා තිබේ.

“මම ඉස්සර ඉඳන්ම මැහුම් පාඨමාලා රට පුරාම කළා. මේ දවස්වල තනි තනිව උගන්වනවා. මම ගුරුමුෂ්ටි නැතිව උගන්වනවා. මගෙන් ඉගෙනගන්න අයට මම කියන්නේ මේක හොඳ ආදායම් මාර්ගයක් කරගන්න කියලා. මගෙන් ඉගෙන ගෙන අද හොඳින් ආදායම් උපයන ළමයි ඉන්නවා වගේම ඔවුන් අදටත් මට සලකනවා. ඇතැම් අය නිතරම මාව බලන්න ඇවිත් ‘ මිස් නිසයි අපි හම්බ කරන්නේ ‘ කියලා ස්තුති කරනවා. මම ටෙලිනාට්‍ය රැසකට කාන්තා ඇඳුම් නිර්මාණය කරදුන්නා. අදටත් කිව්වොත් දෙයක් කරදෙන්න පුළුවන් . ‘ගජමන් නෝනා’ ටෙලිනාට්‍යයේ සියලු කාන්තා ඇඳුම් නිර්මාණය මගේ. ඒ වෙනුවෙන් අපි සිටිය නවාතැනට මැෂිමකුත් ගෝලයෙකුත් එක්ක ගියා. කලා අධ්‍යක්ෂ හීනටිගල ප්‍රේමදාස එහිදී මට සෑහෙන්න උදව් කළා” සිනමාව තුළ ‘මල්දෙණියේ සිමියොන්, සුරබිදෙන , අරගලය , මීහරකා දීපා මෙහෙතාගේ Funny boy, ඉතාලි අධ්‍යක්ෂවරයකුගේ මනේකා’ වැනි උසස් චිත්‍රපටවල රඟපෑ ඇය, අද සිනමාවේ හොඳ නිර්මාණ බිහි වන බවත් යම් ප්‍රබෝධයක් ඇතිවන බවත් කීවාය. ප්‍රියා රණසිංහ රංගනයට අවතීර්ණ වන්නේ 1970 දශකයේයි. “මුලින්ම රඟපෑවේ මගේ පුතා සුමුදු රණසිංහ. එයා ‘සයුරු තෙර’ චිත්‍රපටයේ රඟපෑවා. නිමල් සිල්වා නමැති මගේ සැමියාගේ මිතුරෙක් ඒක අධ්‍යක්ෂණය කළේ. මාලිනී ෆොන්සේකා අක්කාගේ දුවගේ චරිතයට ළමයෙක් හොයනවා ඒකට අපේ පුතාට ගවුමක් අන්ඳලා ගනිමු කියලා නිමල් සිල්වා කිව්වා. අපේ පුතාත් ඒ කාලයේ ගැහැනු ළමයෙක් වගේ. එතකොට පුතාට අවුරුදු 3ක් 4ක් වගේ. පුතා ඒකේ හොඳට රඟපෑවා . අපි නැවතී සිටි නවාතැනේ ජයසේකර අපොන්සුත් හිටියා. ඔහු වේදිකා නාට්‍යයක් කරන්න යෝජනා කළා. ‘සීමා බන්ධන’ ඒකේ නම. ඒක මගේ මුල්ම වේදිකා නාට්‍යය. එහි ඔක්කොම ගැහැනු චරිත. සමන්ති ලැනරෝල්, රත්නා සුමනපාල , ආශා සේපාලිකා, නෙළුම් කළුබෝවිල වගේම ජයසේකර අපොන්සුත් කාන්තා චරිතයක් කළා. පසුව මම විදෙස්ගත වුණා ශේක්ෂ්පියර් නාට්‍ය උලෙළකට. පසුව අශෝක නිශ්ශංක සහාය අධ්‍යක්ෂවරයා ‘කඩදාසි ඔරු’ නමින් වේදිකා නාට්‍යයක් කළා. එහි මම රඟපෑවා. ඒ හැඳුනුම්කම මත ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ ‘මල්දෙණියේ සිමියොන්‘ චිත්‍රපටයට අශෝක නිශ්ශංක මට කතා කළා. ඔහු එහි සහාය අධ්‍යක්ෂ . ඉන්පසු ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ ‘දිමුතු මුතු’ ටෙලිනාට්‍යයටත් මට කතා කළා. ලංකාවේ පළමු ටෙලිනාට්‍යය වූ එය මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය. එහෙමයි මම වේදිකාවට, සිනමාවට, පුංචිතිරයට ආවේ” ඇය සමඟ රඟපෑ ප්‍රවීණ රංගනවේදීන් බොහෝමයක් අද වනවිට මියගොසිනි. නැතහොත් ක්ෂේත්‍රයෙන් ඉවත්ව වියපත්ව සිටියි.

“මා එක්ක රඟපෑ බොහෝ අය අද ජීවතුන් අතර නැහැ . මේ ළඟදී මිසිස් සේරසිංහට ගෝල්ෆේස් ගිහින් අයිස්ක්‍රීම් කන්න, විනෝද වෙන්න ආසයි කියලා Mathy K. Parthipan සහ Glenda Parthipan යුවළට කියා තිබුණා. එදා චාන්දනී සෙනෙවිරත්න, දීපානි සිල්වා, සන්ධ්‍යා මෙන්ඩිස් ආවා. මට මේ වෙලාවේ හෙන්රි ජයසේන අයියවත් මතක් වෙනවා. මාවනැල්ලෙ රූගත කළ ‘සිටුවරයෝ’ ටෙලිනාට්‍යයේ ඔහු මාත් එක්ක රඟපෑවා. මට මතකයි ඒ කාලේ ඔහු අපිටත් එක්ක වයින් බෝතලයක් අරන් එනවා. එච්. ඒ. පෙරේරා එක්ක මම බොහෝ ටෙලිනාට්‍ය රඟපෑවා. අවසානයට කළේ ‘මුතු කිරිල්ලි’ ටෙලිනාට්‍යය. ඒකේ අවස්ථාවක් තිබ්බා අපේ දරුවෙක් පෝරුවේ සිටුවන. එදා එච්. ඒ. අයියා ගොඩාක් අමාරුවෙන් හිටියේ. එදාම සවස ඔහුව රෝහල්ගත කළා දින කිහිපයකින් එච්. ඒ මිය ගියා. නීල් අලස් අයියටත් සනීප නැහැ කියලා ආරංචි වුණා. මොවුන් ඇත්තෙන්ම ජාතික සම්පත්. නාට්‍ය අධ්‍යක්ෂණයටද පිවිසි ප්‍රියා රණසිංහ ටෙලිනාට්‍ය රැසක්ම පුංචි තිරයට දායාද කළාය.

“මම ටෙලිනාට්‍ය 05ක් අධ්‍යක්ෂණය කළා. ඒවායින් බොහෝමයක් ලෝප්‍රකට චිත්‍රපට ඇසුරින් නිර්මාණය වුණේ. මම මුලින්ම අධ්‍යක්ෂණය කළේ ‘ඉසුරු පවස’ ටෙලි නාට්‍යය. ‘සත්සර නිම්නය ‘ අධ්‍යක්ෂණය කළේ Sound Of Music චිත්‍රපටය ඇසුරින්. Heidy චිත්‍රපටයෙන් ‘ සමනල වසන්තය’ත් Seven Night in Japan චිත්‍රපටය ඇසුරින් මගේ අයියගේ බිරිඳ සම්මානලාභී ලේඛිකා රූපා ශ්‍රියාණි ඒකනායක තිර රචනය ලියූ ‘පවන සේ ඇවිදින්’ ටෙලිනාට්‍යයත් මගේම තිර රචනයෙන් ‘ඉර අවර’ ටෙලිනාට්‍යයත් අධ්‍යක්ෂණය කළාය”

“මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ ‘අසල් වැසියෝ’ හි සුරංගනී. අදටත් ජනතාව ඒ ගැන කතා කරනවා“

සිය පවුල් දිවිය පිළිබඳ කතා කරන්නත් ඇය අමතක නොකළාය.

“මගේ සැමියා සරත් රණසිංහ. ඔහු මේ වනවිට ජීවතුන් අතර නැහැ. ඔහු ගම්පහ ගණිත ගුරුවරයෙක්. ටෙලිනාට්‍ය නිෂ්පාදනයටත් මුදල් යෙදෙව්වා. ඔහු සංගීතයට හරිම ප්‍රියතාවක් දැන්වූ කෙනෙක්. පුතා සුමුදු රණසිංහ. ඔහු දැන් එංගලන්තයේ අධිකරණ අමාත්‍යාංශයේ සේවය කරනවා. ලේලිය අචලා දාබරේ, ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක්. මගේ මුණුබුරා දැන් නීතිඥයෙක්. එයා Oxford වල ඉගෙනගත්තේ.”

සිය කලා දිවිය අරභයා පොතක් ලිවීමට තරම් ප්‍රමාණවත් කරුණු ඇතත් ඇතැම් දින, වකවානු අමතකව ඇති බවත් ප්‍රියා රණසිංහයන් පැවැසුවේ සිනහාසෙමිනි.

World News

Send your contact Details Today