නයනී රාමනායක ප්‍රේක්ෂක ඔබට නුහුරු නුපුරුදු නමක් නොවේ. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ‘බේකරි ගෙදර’ සහ ‘සිනාවේ කතාවේ’ ටෙලි නිර්මාණවල මෙන්ම සිරස නාළිකාවේ විකාශය වන ‘ආලවන්තී’ ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වන ඇය ‘රැල්ල වෙරළට ආදරෙයි’, චන්දෝලි, දෙකොන්මාරුව, රාග, මලක්, රොකී වැනි ටෙලි නිර්මාණවල ද අමතක නොවන භූමිකා ඔස්සේ ඔබ හමුවට ආවාය. පුංචි තිරය, රිදී තිරය මෙන්ම මේ දිනවල වේදිකාවේ ද නිතර දකින නයනී අද අප හා කතාබහට එක්වූවා.
නයනී මේ දිනවල නිර්මාණ ත්‍රිත්වයකින් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. කොහොමද ඒ අත්දැකීම?
ඔව්. දෙරණ නාළිකාවේ විකාශය වන බේකරි ගෙදර, සිරස නාළිකාවේ විකාශය වන ආලවන්තී වගේම දෙරණ නාළිකාවේ විකාශය වන සිනාවේ කතාවේ කියන ටෙලි නිර්මාණ තුනේම මේ දිනවල දකින්න ලැබෙනවා. ආලවන්තීහි නඳුනි කියන්නේ නපුරු චරිතයක්. නිතරම ගහගන්න මරාගන්නම බලන් ඉන්න කෙනෙක්. නඳුනිගේ පෙම්වතා හර්ෂ, ඒ කියන්නේ සංජය මුරමුදලිට මගෙන් නිතරම ගුටි කන්න වෙනවා. ඒ වගේම නඳුනිගෙ මල්ලිට ඉන්න අශේන් සිරිවර්ධනත් හැම වෙලේම මගෙන් බැණුම් අහනවා. ගුටිකනවා ඉවරයක් නැහැ. බේකරි ගෙදර සපුමලී ඊට වෙනස් චරිතයක්. සිනාවේ කතාවේ නිවාඩු කියන්නේ කොමඩි චරිතයක්.
ආලවන්තී රූගත කිරීමකදී සප්නට නිල් වෙන්න ගැහුව කියන්නෙ ඇත්ත ද?
ඒක වුණේ මෙහෙමයි. මං හිතන් ඉන්නේ චමෝ හර්ෂගෙ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. චමෝට ඉන්නේ සප්නා පාදුක්ක. මේ වැරදි වටහා ගැනීම නිසා නඳුනි චමෝට ගහන දර්ශනයක් තියෙනවා. සප්නා ගුටි කන්න කැමැති වුණේම නැහැ. කොහොමහරි වදින්න ගහන්නෙ නෑ කියන පොරොන්දුව පිට තමයි එයා ඒ සීන් එකට කැමැති වුණේ. මං යන්තම් වදින්න විතරයි ගැහුවේ. ඒත් ඒ ළමයා නිල් වුණා. දවස් ගාණක් ඒකට බෙහෙත් කරලත් තිබුණා. දැන් නම් එයා ඒ වගේ සීන්වලට යන්නත් බයයි. ඒකටත් එක්ක සංජය අයියා මගෙන් සෑහෙන්න ගුටි කනවා ඒත් පුදුමාකාර විදිහට සපෝට් කරනවා. ප්‍රතිචාර දිහා බලද්දි හිතෙනවා මිනිස්සු ගහගන්න චරිතවලට කැමැතියි කියලත්. පාරෙදි හමුවුණත් බුදු අම්මෝ මෙයා එක්ක නම් කතා කරන්න බයයි. ගුටි කන්න වෙන සීන් එකක් තියෙන්නේ කියල බොහෝ දෙනෙක් කියනවා.
එතකොට බේකරි ගෙදර ගැන කතා කරනවා නම්?
බේකරි ගෙදර සපුමලී කියන්නේ ප්‍රධාන චරිතය. ඒකට තමයි ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නේ. ගමේ විදිහට හිටපු සපුමලී මේ වෙද්දි මොඩ් වෙලා. මගේ පෙම්වතා පාලිත විදිහට ඉන්නෙ විරාජ් ධනූෂ. බේකරි ගෙදර කියන්නෙ කොමඩි නාට්‍යයක් වුණාට මගේ චරිතය කොමඩි චරිතයක් නෙවෙයි. සපුමලීට ගොඩක් දුරට ප්‍රතිචාර ලැබෙන්නේ ළමයින්ගෙන්. ළමයි තමයි වැඩිපුරම බලන්නේ. ඒ වගේම දෙරණෙ යන සිනාවේ කතාවේ ඩ්‍රාමා එකෙත් මං ප්‍රධාන චරිතය කරන්නේ. ඒක නම් කොමඩි එකක්. ඒකෙ මගේ නම නිවාඩු. ඒකටත් ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නේ ළමයින්ගෙන්.
නයනි මේ දවස්වල වේදිකාවෙත් ගොඩක් දකින්න ලැබෙනවා නේද?
ඔව්. මේ කාලවකවානුවේ මං රංගනයෙන් දායක වන වේදිකා නාට්‍ය අටක් වේදිකාගත වෙනවා. රංජිත් ද අල්විස්ගේ ‘දුම්මල වරම‘, අනුර වරාගොඩගේ අප්පච්චි, සුනිල් ලියනආරච්චිගේ ‘සුරූපී‘ යන නාට්‍ය තමයි මේ දවස්වල ගොඩක්ම වේදිකාගත වෙන්නේ. තවත් වේදිකා නිර්මාණ විශාල සංඛ්‍යාවකට ආරාධනා ලැබෙනවා. ඒත් වෙලාව නැතිකම නිසා භාර ගන්න බැරි වෙනවා. වේදිකාවෙන් ගම්බද පැතිවලට ගියහම ඒ මිනිස්සුන්ගෙන් පුදුමාකාර ආදරයක් ලැබෙනවා. සජීවීව ප්‍රතිචාර ලැබෙද්දි ඒක අපිටත් ලොකු සතුටක්.
එතකොට සිනමාවට තියෙන සම්බන්ධය ගැන කතා කළොත්?
සිනමාවට ලැබෙන අවස්ථා නම් අඩුයි. මං මේ වෙද්දි සිනමාපට තුනකට සම්බන්ධ වෙලා තියෙනවා. තාම තිරගත වුණේ ‘කම්බිලි‘ විතරයි. අනෙක් චිත්‍රපට දෙකම තාම තිරගත වුණේ නැහැ.
නයනිගේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන සිහිපත් කරනවා නම්?
මට ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබෙන්නේ චාමර සමරවික්‍රම නිෂ්පාදනය කළ හිරු ඇවිදින් ටෙලි නිර්මාණය නිසා. අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් සිවගුරුනාදන්. ඊට පස්සේ දෙරණ අවුරුදු කුමරිය තරගයේ අන්තිම පස්දෙනා අතරට ආවා. ඒත් එක්කම තමයි ප්‍රධාන චරිත සඳහා ආරාධනා ලැබුණේ. සහාය අධ්‍යක්ෂවරයෙක් වන තරංග නිරිඇල්ල අයියා විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන. ඔහු තමයි මට මේ ගමන එන්න ගොඩක්ම උදවු කළේ.
නයනිට පහුගිය දවස්වල ලොකු අකරතැබ්බයකට මුහුණ පාන්න වුණා කියලත් ආරංචියි. මොකද වුණේ?
දැන් නම් ඒක ගොඩක් අය දන්නවා. පත්තරවල නිවුස් විදිහටත් ගිහින් තිබුණා. මගේ සුරතල් බල්ලා ශේනු ගෝල්ඩන් රිට්රීවර් කෙනෙක්. ගේට්ටුවෙන් එළියට යන්නෙවත් නැතුව ගේ ඇතුළෙම හුරතලේට හැදුණු කෙනෙක්. ගේට්ටුව ඇරල තිබුණොත් විතරක් සමහර වෙලාවට එහා පැත්තෙ තියෙන කා වොෂ් එකට ගිහින් එනවා. පහුගිය දවසක උදේ මං එයාට කෑම එක හදන් එද්දි මෙයා නැහැ. සාමාන්‍යයෙන් කෑම එක දෙන්න කතා කළාම කොහේ හිටියත් එනවා. එයා මිදුලෙ හිටිද්දි තමයි මං කෑම හදන්න ගියේ. මං හොයද්දි කා වොෂ් එකේ ඉන්න කෙනා කිව්වා හොයල වැඩක් නෑ මිස් අන්න ත්‍රීවිලර් එකකින් එයාව දාගෙන ගියා කියලා. සාමාන්‍යයෙන් මෙයා අඳුනන්නැති අයත් එක්ක එහෙම යන්නෙත් නැහැ. සීසීටීවී චෙක් කරද්දි දැක්කා මනුස්සයෙක් ලණුවකින් මෙයාව ගැටගහගෙන ත්‍රීවිලර් එකක දාගෙන යනවා. මං පොලීසිත් ගියා. පොලීසියෙනුත් ඇවිත් හෙවුවා. මං ගෙයක් ගෙයක් ගාණේ සීසීටීවී චෙක් කර කර ගිහින් කොහොමහරි හොයා ගත්තා. ඒත් දැන් එයා වෙනද වගේ කන්නෙ නෑ. බලාගත්ත අත බලාගෙන ඉන්නවා, හූල්ලනවා. ගොඩක් වෙනස් වෙලා. එයාව දැක්කම මටත් ගොඩක් දුකයි. මං එයාව හැදුවේ දරුවෙක් වගේ.