Latest News

ෂේක් හසීනාට මරණ දඬුවම?

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂේක් හසීනා බලයෙන් පහ කළ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විරෝධතා මර්දනය කිරීමේදී සිදුවූ මාරක සිදුවීම් සම්බන්ධයෙන් ඇයට මරණ දඬුවම ලබා දෙන ලෙස එරට නඩු පවරන්නන් ඉල්ලා තිබෙනවා.

විරෝධතා මර්දනය කිරීමේදී “මාරක අවි භාවිත කරන ලෙස” ආරක්ෂක අංශවලට නියෝග කළ බවට අනාවරණය වූ හඬ පටයක් සම්බන්ධයෙන්ද ඇයට චෝදනා එල්ල වී ඇති අතර, දැනට ඉන්දියාවට පලා ගොස් සිටින ඇයට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා යටතේ නඩු විභාගයක් පැවැත්වෙනවා.

කෙසේ වෙතත්, ඇය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ප්‍රධාන නඩු පවරන්නාවන ටජුල් ඉස්ලාම් ඊයේ (16) අධිකරණය හමුවේ කියා සිටියේ, ඇය 1,400කගේ මරණ සඳහා වගකිව යුතු බැවින් “ඇය මරණ දඬුවම් 1,400කට සුදුසු ය. එය මනුෂ්‍ය වශයෙන් කළ නොහැකි බැවින්, අපි අවම වශයෙන් එකක් හෝ ඉල්ලා සිටිමු” යනුවෙන්.

“හසීනාගේ ඉලක්කය වූයේ තමාට සහ තම පවුලට ස්ථිරවම බලයේ රැඳී සිටීමයි” යනුවෙනුයි ඔහු අධිකරණයට පවසා ඇත්තේ.

“ඇය දරුණු අපරාධකාරියක් බවට පත්ව ඇති අතර, ඇය කළ ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන කිසිදු පසුතැවීමක් නොපෙන්වයි” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

හසීනාගේ වසර 15ක පාලනය අවසන් කළ මෙම නොසන්සුන්කාරී සති කිහිපය තුළ 1,400ක් පමණ ඝාතනය වී ඇති අතර, එය 1971 නිදහස් යුද්ධයෙන් පසු බංග්ලාදේශය දුටු දරුණුතම ප්‍රචණ්ඩත්වය වූවා.

විරෝධතා ආරම්භ වූයේ 2024 ජූලි මාසයේදී, 1971 නිදහස් සටන්කරුවන්ගේ ඥාතීන් සඳහා සිවිල් සේවා රැකියා කෝටා ක්‍රමයක් නැවත බලාත්මක කිරීමට එරෙහිව සිසුන් විරෝධය දැක්වීමෙන් වන අතර, එය ඉක්මනින්ම හසීනා පෙරලා දැමීමේ මහජන ව්‍යාපාරයක් දක්වා වර්ධනය වීමට සමත් වුණා.

World News

Send your contact Details Today