පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම විසින් 2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ තරග තුනකින් යුත් T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් සඳහා සංචාරය කිරීමට ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වනවා.
දෙරටේම ක්‍රිකට් පාලක මණ්ඩල අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා ක්‍රියාත්මක වන බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඒ අනුව මෙම තරගාවලිය ජනවාරි 8, 10 සහ 12 යන දිනවල කොළඹදී පැවැත්වීමට යෝජනා වී ඇති බව සඳහන්.
එය 2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සත්කාරකත්වය දරන ICC T20 ලෝක කුසලානය සඳහා මුල්කාලීන සූදානමක් ලෙස සැලකෙන බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, මෙම සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් මාසයේදී පාකිස්තානයේදී එක්දින තරග තුනකට මුහුණ දීමට නියමිත අතර, ඉන් පසුව ඇෆ්ගනිස්තානයද සමඟ තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, මෙම තුන්කොන් තරගාවලිය පැවැත්වීම තවමත් අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් කොළඹ පැවැත්වීමට යෝජිත පාකිස්තාන තරගාවලිය තවමත් තහවුරු කර නැති බවත්, ක්‍රීඩාංගණ ලබා ගැනීමේ හැකියාව මත යෝජනාව සලකා බලමින් සිටින බවත් නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.
දේශපාලනික ගැටලු හේතුවෙන් පාකිස්තානය ඉන්දියාවේ සංචාරය නොකරන බැවින්, 2026 T20 ලෝක කුසලානයේ ඔවුන්ගේ සියලුම තරග ශ්‍රී ලංකාව තුළදී ක්‍රීඩා කිරීමට නියමිතයි.