යුරෝපීය රටවල රැකියා ලබා දෙන බවට පොරොන්දු දෙමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ ජාවාරමක ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වංචාවට හසුවූවෙකු සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක්ද වාර්තා වී තිබුණා.
මීගමුව ප්‍රදේශයේ FC International නමින් වසර එකහමාරක පමණ කාලයක් පවත්වාගෙන ගිය මෙම බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනය, හංගේරියාව, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය වැනි රටවල සාත්තු සේවා රැකියා සඳහා පුද්ගලයන් බඳවා ගන්නා බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.
පොරොන්දු වූ රැකියා ලබා නොදීම සම්බන්ධයෙන් කාර්යාංශය වෙත මේ වන විට පැමිණිලි 20ක් ලැබී ඇති අතර සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ ආයතනයට හංගේරියාව සඳහා පමණක් රැකියා ඇණවුම් ලැබී තිබුණද, ඒ අතරට පොරොන්දු වූ සාත්තු සේවා අංශයේ කිසිදු රැකියා අවස්ථාවක් ඇතුළත් වී නොමැති බවයි.
ලැබුණු පැමිණිලිවලට අනුව වංචා කර ඇති මුළු මුදල රුපියල් කෝටි දෙකකට ආසන්න බව අනාවරණය වී තිබෙනවා.
මෙම ජාවාරමේ මහ මොළකරු ලෙස සැලකෙන, විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර ගණනක පළපුරුද්දක් ඇති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන කඩවත පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආයතනයේ හිමිකාරිය, ඇගේ සැමියා සහ මුදල් කළමනාකරු ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවී සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
තවද, සැඟවී සිටින අනෙකුත් සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතිනවා.
අදාළ නියෝජිතායතනයේ බලපත්‍රය අත්හිටුවීමටද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.