Latest News

ට්‍රම්ප්ගේ නොබෙල් සිහිනය ජාත්‍යන්තර මධ්‍යයේ කතාබහට ලක්වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කළ සාම සැලසුමේ පළමු අදියරට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය එකඟවීමත් සමග මෙවර නොබෙල් ත්‍යාගය අමෙරිකානු ජනාධිපතිවරයා වෙත හිමිවේද යන්න සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරි නැමීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එවැනි එකඟතාවක් ඇති වීමත් සමඟයි.

ධවල මන්දිරය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපයක් “ද පීස් ප්‍රසිඩන්ඩ්” හෙවත් “සාම ජනාධිපති” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර ඇති බැනරය හේතුවෙන් එම කතාබහ වඩාත් තීව්‍ර වී තිබෙනවා.

කෙසේවෙතත් ධවල මන්දිරයේදී වාර්තාකරුවෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ නොබෙල් ත්‍යාගය සම්බන්ධයෙන් තමන්ට කිසිදු අදහසක් නොමැති බවයි.

තමන් යුද්ධ 07ක් විසඳා ඇති බවත් අටවැන්න ලෙස යුක්‍රේන යුද්ධය ද ඉදිරියේදී විසඳෙනු ඇති බවත් ඉතිහාසයේ කිසිවෙකු එතරම් යුද්ධ ගණනක් විසඳා නොමැති බවත් ඔහු පවසා තිබෙනවා.

රටවල් කිහිපයක් නොබෙල් සාම ත්‍යාගය සඳහා සිය නම යෝජනා කර තිබුණත් නොබෙල් කමිටුව ඇතැම් විට එය තමන්ට ලබා නොදීමට හේතුවක් සොයාගනු ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ඊශ්‍රායලය සහ පාකිස්ථානය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කර ඇති රටවල් දෙකක්.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වීමට ගිය යුද්ධය විසඳීමට තමන් මැදිහත් වූ බව අවස්ථා කිහිපයකදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් ඉන්දියාව එම ප්‍රකාශය අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප කළා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ යුද ගැටුම් අවසන් කෙරුණේ ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන්.

අසර්බයිජානය හා ආමේනියාව අතර දශක ගණනාවක් පුරා පැවති යුද ගැටුම් අවසන් කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීම ඉකුත් අගෝස්තු මාසයේදී ධවල මන්දිරයේදී සිදු වූ අතර ඊට සත්කාරකත්වය සැපයූවේ අමෙරිකාවයි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරට අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වීමට පෙර ප්‍රකාශ කර තිබුණේ තමන් බලයට පත් වුවහොත් රුසියානු – යුක්‍රේන යුද ගැටුම කඩිනමින් අවසන් කරන බවයි.

ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවිධ උත්සාහ දැරුවද මෙතෙක් එය සාර්ථක වී නැහැ.

ගාසා යුද්ධය නතර කිරීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වක්‍ර සාකච්ඡා ඉකුත් දා ආරම්භ වුණේ ඊජිප්තුවේ ෂාර්ම් එල් ෂෙයික් නගරයේදීයි.

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 20කින් සමන්විත සාම සැලැස්මට අනුව එම සාකච්ඡා ආරම්භ කෙරුණා.

එහිදී ඇති කරගෙන ඇති සාම සැලැස්මේ පළමු අදියර යටතේ වන එකඟතාව අනුව ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල් සිරකරුවන් 48 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධානාගාරවල රඳවා සිටින පලස්තීන සිරකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

World News

Send your contact Details Today