මාංශ වෙනුවට විකල්ප ලෙස ශාක පදනම් වූ නිෂ්පාදන යොදාගැනීමේදී “සොසේජස්”සහ “බර්ගර්” වැනි ලේබල් භාවිත කිරීම තහනම් කිරීමේ යෝජනාව පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තුව තුළ උණුසුම් විවාදයක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් මාංශ නිෂ්පාදන කර්මාන්තය සහ විකල්ප ආහාර අංශය අතර ගැටුම යළිත් ඇවිලී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම යෝජනාව සම්බන්ධයෙන් යුරෝපා මන්ත්‍රීවරුන් අද දින ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.
මෙම ලේබල් කිරීමේ තහනම සම්මත වුවහොත්, “බර්ගර්” සහ “සොසේජස්” ඇතුළු දිගු ලේබල් ලැයිස්තුවක් මාංශ අඩංගු ආහාර සඳහා පමණක් වෙන්කිරීමට නියමිතයි.
මෑතක සිට යුරෝපීයයන් බහුතරය නිර්මාංශ සහ වීගන් ආහාරවලට යොමු වී සිටිනවා.
ඊට හේතුවී ඇත්තේ පශු සම්පත් ගොවිපළවල්වලින් නිකුත් වන හරිතාගාර වායු විමෝචන අර්බුදය පිළිබඳ කලක සිට පැවති කතිකාවතයි.
එහෙත්, මාංශ අනුකරණය කරමින් ශාක පදනම් වූ ආහාර නිෂ්පාදනය, යුරෝපයේ බොහෝ පශු සම්පත් ගොවීන් සහ ඔවුන් නියෝජනය කරන දේශපාලඥයින් තමන්ට තර්ජනයක් ලෙසයි දකින්නේ.
දක්ෂිණාංශික යුරෝපා මන්ත්‍රීවරියක් වන සෙලින් ඉමාර්ට් මෙම මාංශ නොවන නිෂ්පාදන සඳහා තහනම ඇතිකිරීමේ යෝජනාවේ ප්‍රධාන පාර්ශ්වයයි. ඇය තර්ක කරන්නේ, “ඒවා සොසේජස් වත්, ස්ටීක්වත් නෙවෙයි. පැහැදිලියි සරලයි. අපි ඇත්තටම ඇත්ත කියමු”ලෙසයි.
“ඒවා මාංශ යැයි හැඳින්වීම පාරිභෝගිකයා නොමඟ යැවීමක්” ඉමාර්ට් ප්‍රකාශ කළා.
ඇය පවසන්නේ මෙම නව යෝජනාව, “කිරි” (milk) සිට “යෝගට්” (yogurt) සහ “චීස්” (cheese) දක්වා සාම්ප්‍රදායික කිරි නිෂ්පාදන යෙදුම් භාවිතය දැනටමත් සීමා කර ඇති යුරෝපීය නීතිවලට අනුකූල බවයි.
“මාංශ සඳහා ද එසේ කිරීම සාධාරණයි” ඇගේ තර්කයයි.
මෙම යෝජනාවට විරුද්ධ කණ්ඩායම් අනතුරු අඟවන්නේ, ශාක පදනම් වූ විකල්ප මාංශ නිෂ්පාදන සඳහා යුරෝපයේ විශාලතම වෙළඳපොළ වන ජර්මනියට, මෙම තහනම ආර්ථික වශයෙන් විශේෂයෙන් බලපානු ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම යෝජනාව නීතියක් බවට පත්වීමට තව බොහෝ දුරක් තිබෙනවා.
පාර්ලිමේන්තුව එයට පිටුබලය දුන්නද, එය යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 සමඟ සාකච්ඡා කළ යුතුයි.
ප්‍රංශය 2024 දී ද මෙයට සමාන ලේබල් තහනමක් සම්මත කළද, යුරෝපා සංගමයේ ඉහළම අධිකරණයේ තීන්දුවකට අනුව පසු වසරේ ජනවාරි මාසයේදී එය අවලංගු කර තිබෙනවා.