අමෙරිකානු හිටපු ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්, කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද තමාගේම වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමග මේ වන විට අන්තර්ජාලය පුරා දැඩි කුතුහලයක් සහ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
@TrueMELANIAmeme නම් X (කලින් ට්විටර්) ගිණුම විසින් මුලින් පළ කරන ලද මෙම වීඩියෝව, ඇය විසින් නැවත බෙදාගැනීම විශේෂත්වයක්.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කළ අන්තර්ගතයන් රැසක් ඉදිරිපත් කර ඇති පසුබිමක, මෙය ට්‍රම්ප් පවුලේ ඩිජිටල් උපාය මාර්ගකරණයේ නව මානයක් ලෙස සැලකෙනවා.
‘අනාගතයට’ (Into The Future) යනුවෙන් නම් කර ඇති මෙම කෙටි වීඩියෝ පටයෙන්, පික්සල සමූහයක් අතරින් මෙලානියා ට්‍රම්ප්ගේ ඩිජිටල් රුවක් මතු වී, ඇස් පිල්ලම් ගසමින් සුඛෝපභෝගී ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේ අභ්‍යන්තරයේ සිටින අයුරු දිස්වනවා.
ඇය තද පැහැති විධිමත් ඇඳුමකින් සහ ඇයටම ආවේණික වූ හිසකෙස් සැකසුමකින් සැරසී සිටින අතර මෙහි ඇති අනාගතවාදී ස්වරූපය සහ කෘත්‍රිම බුද්ධි නිර්මාණය හේතුවෙන් බොහෝ දෙනෙක් මෙහි අරුත සහ ඇඟවුම් පිළිබඳව ප්‍රශ්න කරමින් සිටිනවා.
මෙම සටහන ඉතා කෙටි කාලයක් තුළ මිලියනයකට ආසන්න නැරඹුම් වාර සංඛ්‍යාවක් වාර්තා කරමින් අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්ත වුණා.
සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් මේ සඳහා මිශ්‍ර ප්‍රතිචාර ලැබී ඇති අතර ඇතැමුන් මෙමගින් ඇතිවූ ව්‍යාකූලත්වය පළ කර තිබුණා.
මෙම වීඩියෝව, මෙලානියා ට්‍රම්ප්ගේ $MELANIA නම් ගුප්තකේතන මුදල් ඒකකය (cryptocurrency) හා සම්බන්ධ බවට වාර්තා වන අතර, තාක්ෂණය, විලාසිතා සහ දේශපාලනය මුසු කරගත් ඩිජිටල් සන්නාමයක් ගොඩනැගීම එහි අරමුණ බවයි පැවසෙන්නේ.
සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙම වීඩියෝවට ගුප්ත අර්ථකථන ලබා දෙමින් දැඩි උනන්දුවකින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
මෙම වීඩියෝවේ සංකේතාත්මක අර්ථය පිළිබඳව මෙතෙක් කිසිදු නිල පැහැදිලි කිරීමක් සිදු කර නොමැති නමුත්, එහි ඇති අභිරහස් ස්වභාවය හේතුවෙන් එය අන්තර්ජාලය පුරා පුළුල් විවාදයක් ඇති කිරීමට සමත් වී තිබෙනවා.