රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ආන්දෝලනාත්මක කතාබහකට ලක්වූ ‘වීදුරු තිර’ පසුගිය දා විකාශය අවසන් කෙරුණා.
ලාංකේය සමාජ, සංස්කෘතික රාමුව තුළ කතාකිරීමට මැළිවන තේමාවක් වූ සමරිසි සබඳතාව තේමා කරගත් තිර රචනයේ අභියෝගය නොබියව භාරගත් පිටපත් රචිකා ගයනි අසිංසලා පියදිගම සිය නිර්මාණ කලා දිවිය ගැන කතා කිරීමට මෙසේ එක්වුණා.
පසුගිය දා විකාශය අවසන් වූ ‘වීදුරු තිර’ රචනා කිරීමට යොමුවූ අයුරු කීවොත්?
මගේ ටෙලිනාට්‍ය නිර්මාණ දිවියේ සමීපතම යෙහෙළියක් තමයි ශලනි තාරකා . අපි දෙන්නා මීට පෙරත් සාකච්ඡා කර ටෙලිනාට්‍ය රැසක්ම ගොඩනැගුවා. ‘වීදුරු තිර’ කතා සංකල්පය ශලනිගේ . ඇය මට මෙහි තිර රචනය ලියන්න ආරාධනා කළා .
ප්‍රේක්ෂකයාට ආගන්තුක වූ මෙවැනි මාතෘකාවක් කතා කිරීම අභියෝගයක් වුණේ නැද්ද?
මගේ සෑම නිර්මාණයකටම තේමා වුණේ අපට එදිනෙදා හමුවන චරිත . සමාජයේ සැඟවුණු සමහර සිද්ධීන් අපි කතා කරන්නේ හරිම අඩුවෙන්. ඒ සිද්ධීන් හැමතැනම පේන්න තිබුණත් අපි නොපෙනුණා වගේ ඉන්නවා. මම විශ්වාස කරන්නේ කලාවෙන් කරන්න ඕනේ මහ පොළොවේ අපට හමුවන, ගැටෙන චරිත දිහා බලලා ඔවුන් පිළිබඳ නිර්මාණ කිරීම කියලයි. මෙතැනදී අභියෝගය වුණේ ලිවීමට පෙර හොඳ හැදෑරීමක් කිරීමට අවශ්‍ය වීමයි.
ටෙලිනාට්‍යයෙන් කතා කළ සමරිසි ආදරය ප්‍රේක්ෂකයා කෙසේ වැලඳගනීවි කියා සිතුවද?
මේ දේවල් සමාජයේ ඕනතරම් දකින්න ලැබුණත් ලංකාවේ සංස්කෘතික පසුබිම එක්ක ප්‍රසිද්ධියේ පිළිගන්න අකැමැති බහුතරයක් දෙනා ඉන්නවා. ඒත් මේ දේවල් සුලබයි. විවේචන එල්ල වෙන්න පුළුවන් කියා දැනගෙනමයි නිර්මාණයට අතගැහුවේ.
මෙවැනි මනෝමූලික විෂයයක් කතා කිරීමේදී මනෝ උපදෙස් පවා ගන්න ඇති?
ඔව්, විශේෂයෙන් මතක් කරන්න ඕනේ මනෝ චිකිත්සක බුද්ධිකා ජයසිංහ මහත්මිය. මේ කතා සංකල්පය ගොඩනඟද්දී අපේ අත්දැකීම් සමඟ ඇගේ අත්දැකීම් බෙදාගෙන මේ සමාජ ස්ථරයන්, මේ චරිත හැසිරෙන ආකාරය ගැන හොඳ අවබෝධයක් අපට දුන්නා .
අධ්යක්ෂවරයාගෙනුත් හොඳ සහායක් ලැබෙන්න ඇති?
ඔව්. මායි ශලනියි දර්ශනයෙන් දර්ශනය සාකච්ඡා කළා. ඊටපස්සේ අධ්‍යක්ෂ ශාන් මල්ලිත් අපට එක්වුණා. අපි තුන්දෙනා වට්ස්ඇප් සමූහයක් හදාගෙන ලියමින්, නැවත කපාකොටා සකසමින් අවසන් පිටපත දක්වා සකසන්න හැකිවුණා. කාන්තාවන් දෙදෙනෙක් එකතුවී පිරිමි අය ගැන ලියන දේවල් නිවැරදි කරන්න ශාන් මල්ලි අපට උදව් කළා.
ඔබේ තිර රචනා කලාවේ ආරම්භය ගැන සිහිකළොත්?
මම තිර රචනා කලාවට යොමුවී දැනට වසර 3යි. මේ කාලය තුළ විකාශය වූ ටෙලිනාට්‍ය 8කට මගේ රචනා පාදක වුණා. ඉදිරියේදී විකාශයට නියමිත නිර්මාණ කිහිපයකුත් තිබෙනවා. මුලින්ම මම තිර රචනා ලිවීම ආරම්භ කළේ ‘චලෝ’ ටෙලිනාට්‍යයෙන්. පසුව ‘මීනු, විදූ, See you, හිච්චි, අහස්, ප්‍රේම රස්තියාදුව, මාව මතකද’ වැනි ටෙලිනාට්‍ය රචනා කළා.
පාසල් සමයේත් ලේඛනයට යොමුවී සිටියද?
ලේඛනයට මම යොමුවුණේ පුංචිම අවධියේ සිටයි. ඒ කෙටිකතා , නවකතා ක්ෂේත්රයෙන්. නවකතා , කෙටිකතා 15කට ආසන්න ප්‍රමාණයක් ලියා මුද්‍රණය කර එළිදක්වා තිබෙනවා .
තිර රචනා කලාව අධ්‍යයනයේදී ගුරුකොටගත් පිරිසකුත් ඇති?
අපේ රටේ තිර රචනා කලාව අධ්‍යයනයට අවස්ථාව ලැබෙන්නේ හරිම අඩුවෙන් . මට හිතෙන්නේ මම ලිවීමෙන්ම තමයි ඉගෙනගත්තේ. විශ්වවිද්‍යාල අධ්‍යයනයෙන් හැර තිර රචනය සම්බන්ධ ස්වයං අධ්‍යයනය තමයි වැදගත් වුණේ. මුල් තිර රචනාවලදී හමුවූ අධ්යක්ෂවරුන් වන හසුන් සමීර, ඉරේෂ් ලොකුබණ්ඩාර වැනි අය විශාල ගුරුහරුකම් ලබාදුන්නා. මම හිතන්නේ මට තිබෙන්නේ මටම අනන්‍ය වූ ලේඛන ශෛලියක් කියලා .
සිනමා තිර රචනයට යොමුවුණේ නැද්ද?
මේ වෙද්දී සිනමා තිර රචනා 3කට දායක වුණා. මගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වෙමින් තිබෙන සිනමා පටයක් පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා .
ඔබ වෘත්තියෙන් ගුරුවරියක් නේද?
ඔව්. මම වෘත්තියෙන් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උගන්වන ගුරුවරියක්. සේවය කරන්නේ බිබිල, නන්නපුරාවට විද්‍යාලයේ . මා උගන්වන විෂයය මගේ නිර්මාණ දිවියට සම්බන්ධ නිසා ලොකු පහසුවක් තිබෙනවා .
ඉදිරි නිර්මාණ ගැන කීවොත්?
සිනමා තිර රචනා කිහිපයක් ගැන බලාපොරොත්තුවක් තිබෙනවා . එහි මූලික වැඩකටයුතු කරමින් ඉන්නවා. එසේම කෙටි කොටස් ප්‍රමාණයකින් යුතු ටෙලිනාට්‍ය කිහිපයක් ලියමින් ඉන්නවා.