Latest News

🏏 ASIA CUP 2025 | අවසන් තරගයට පෙර ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකාට විරුද්ධව ICCය වෙත පැමිණිලි කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකාට විරුද්ධව ICCය වෙත පැමිණිලි කර ඇති බව වාර්තා වෙනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානයේ හරිස් රවුෆ් සහ සහිබ්සාඩා ෆර්හාන්ගේ ප්‍රකෝපකාරී ඉරියව් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පිල අයිසීසීය වෙත පැමිණිල්ලක් යොමු කර ඇති බවයි ක්‍රීඩා වෙබ් අඩවි අනාවරණය කරන්නේ.

මේ අතර ඉන්දීය ක්‍රිකට් නායක සූර්යකුමාර්ට එරෙහිව පැමිණිල්ලක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අයිසීසීයට භාර දී ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවට එරෙහිව සුපිරි හතර වටයේ තරගයේදී පාකිස්තාන ආරම්භක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන් සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ‘වෙඩි තබන ආකාරයේ’ සැමරුමක් ප්‍රදර්ශනය කරනු දැක ගත හැකි වුණා.

හතරේ සීමාව අසල සිටි හරිස් රවුෆ් රසිකයන් වෙත අභිනයක් කරමින් ඉන්දියානු ජෙට් යානා කඩා වැටුණු ආකාරය පෙන්වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වූවා.

වාර්තා වන පරිදි පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ මෙම ප්‍රකෝපකාරී ක්‍රියාවන් සම්බන්ධයෙනුයි.

පැමිණිල්ලට අදාළ චෝදනා රවුෆ් සහ ෆර්හාන් ලිඛිතව ප්‍රතික්ෂේප කරන්නේ නම්, අයිසීසීය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, ක්‍රීඩකයන්ට තරග තීරක රිචී රිචඩ්සන් ඉදිරියේ පෙනී සිට කරුණු දැක්වීමට නියම කළ හැකි බවයි වාර්තා වන්නේ.

එයට අමතරව මූලික වටයේ තරගයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් නායක සූර්යකුමාර් යාදව් පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ඉන්දියාවේ ජයග්‍රහණය කැප කරන බව කියා සිටියා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ද කරුණු විමසීමට සූදානමක් පවතිනවා. එම ප්‍රකාශය ‘දේශපාලනික’ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ චෝදනාව වන්නේ.

මේ අතර ඉරිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී, පිටියේ උණුසුම්කාරී තත්ත්වයන්ගෙන් බැහැරව ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් තම ක්‍රීඩකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

දෙරට අතර මීට පෙර පැවැති තරග දෙකේදීම දැඩි උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා වීම මීට හේතුවයි.

තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ පිළිබඳ අදහස් දක්වා සිටියා.

බංග්ලාදේශයට එරෙහිව සුපිරි හතර දෙනාගේ වටයේදී ලැබූ තියුණු ජයග්‍රහණයත් සමඟ, පාකිස්තානය ඉතිහාසයේ පළමු වරටයි ඉන්දියාව සමඟ ආසියානු කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ඇත්තේ.

දෙරට අතර මැයි මාසයේ ඇති වූ යුද ගැටුමෙන් පසු පැවැති මෙම තරගාවලියේ පළමු තරගයෙන් පසු ඉන්දියාව පාකිස්තානය සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කළ අතර, ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් දේශපාලන ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල වුණා.

දෙවැනි තරගයේදී පාකිස්තාන ක්‍රීඩකයන් වූ සහිබ්සාදා ෆර්හාන් සහ හරිස් රවුෆ් ආක්‍රමණශීලී හැසිරීම් ප්‍රදර්ශනය කළා.

කෙසේ වෙතත්, ඉහළ පීඩනයක් සහිත තරගවලදී මෙවැනි හැඟීම්බර අවස්ථා සාමාන්‍ය දෙයක් බවයි හෙසන් පෙන්වා දෙන්නේ.

අවසන් තරගය ජයග්‍රහණය කිරීමට නම්, ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කණ්ඩායම වන ඉන්දියාවට තරගය පුරා පීඩනය එල්ල කළ යුතු බව පාකිස්තාන පුහුණුකරු හෙසන් අවධාරණය කරනවා.

“පළමු තරගයේදී අපි තරමක් උදාසීන වුණා, ඉන්දියාවට තරගය පාලනය කිරීමට ඉඩ දුන්නා. නමුත් දෙවැනි තරගය ඊට වඩා විශාල ඉදිරි පිම්මක් තිබුණා. එහිදී අපි දීර්ඝ කාලයක් තරගය අපේ ග්‍රහණයේ තබා ගත්තත්, අභිෂේක් ෂර්මාගේ සුවිශේෂී ඉනිම තරගය අපෙන් උදුරා ගත්තා.”

මෙම අවස්ථාව තම කණ්ඩායම විසින් දිනාගත් එකක් බවත්, දැන් එයින් උපරිම ප්‍රයෝජන ගැනීම ඔවුන් සතු වගකීමක් බවත් හෙසන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

World News

Send your contact Details Today