මේ වන විට පිට පිටම ලැබූ පරාජයන් දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ කිසිදු ලකුණක් නොලබා අවසන් ස්ථානයේ පසුවෙනවා.
කෙසේ වෙතත් අවසන් තරගයට පිවිසීම සඳහා ඔවුන්ට ඉතිරිව ඇති එකම ක්‍රමය ඉතා අපහසු එකක් බවයි පෙනී යන්නේ.
පළමුවෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගී වන සුපිරි හතර වටයේ අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම අත්‍යවශ්‍යයි.
මෙම ජයග්‍රහණය ඉතා විශාල ලකුණු පරතරයකින් ලබාගන්නා ජයග්‍රහණයක් වීම ද වැදගත් වනවා.
ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ ඍණ අගයක පවතින ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයයි.
ඉන්දියාව පරාජය කළද, ශ්‍රී ලංකාවේ අවසන් තරග වරම තීරණය වන්නේ අනෙකුත් තරගවල ප්‍රතිඵල මතයි.
ඒ අනුව සුපිරි හතර වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ කණ්ඩායම් තුනක් (ශ්‍රී ලංකාව ද ඇතුළුව) ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබා සම වන තත්ත්වයක පසු විය යුතුයි.
අද පැවැත්වෙන ඉන්දු-බංගලාදේශ තරගයේ තීරණය ද ඉතා වැදගත් වෙනවා.
ඊට හේතුව වන්නේ මෙම කණ්ඩායම් ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබාගෙන සිටීමයි.
අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ප්‍රසාද ලකුණු හතරක් දිනා ගැනීමට සමත් වෙනවා.
ඒ අනුව අද තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම කුමක් වුවත්, එම කණ්ඩායම ඉදිරි තරග සියල්ල පරාජයට පත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත්.
අද පරාජයට පත්වන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළු තවත් එක් කණ්ඩායමක් ලකුණු සටහනේ සම වුවහොත්, එම කණ්ඩායම් තුන අතුරින් ඉහළම දළ ලකුණු ලබා ගැනීමේ වේගය හිමි කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වනවා.
ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව විශාල ජයක් ලැබිය යුත්තේ මෙම තීරණාත්මක සාධකය ජය ගැනීම සඳහායි.
මෙම සියලු කරුණු එකවර සම්පූර්ණ වුවහොත් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාවක් උදා වෙනවා.