ගාසා නගරය අත්පත් කරගැනීම තීව්‍ර කරමින් එහි පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව දැනුම්දී තිබෙනවා.
ගාසා නගරය ආශ්‍රිතව සිදුකිරීමට සැළසුම් කර ඇති භූමි ප්‍රහාරය හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකර තිබුණා.
ඒ අනුව එහි පදිංචිකරුවන්ට ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මානුෂීය කළාපය වෙත යොමුවන ලෙසයි ඊශ්‍රායල හමුදාව දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත් මේ වන විටත් ගාසා නගරයේ පදිංචිකරුවන් විශාල පිරිසක් එම මානුෂීය කලාපය වෙත යොමුවෙමින් සිටින බව සඳහන්.
මෙම කලාපයේ ක්ෂේත්‍ර රෝහල්, ජලනල මාර්ග මෙන්ම ආහාර, කූඩාරම්, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් අඛණ්ඩව ලැබෙන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධීකරණය කටයුතු සිදුකරන බව ඊශ්‍රායල හමුදාව දැනුම්දී තිබෙනවා.
ගාසා නගරය ආශ්‍රිතව පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් රැදී සිටින අතර, එම ප්‍රදේශය හමාස් සංවිධානයේ ඉතිරිව ඇති අවසන් බලකොටුව ලෙස සැලකෙනවා.
කෙසේ වෙතත් ඊශ්‍රායලයේ මෙම භූමි ප්‍රහාරය ඉක්මන් වුවහොත් දරුණු ව්‍යසනයක් සිදු විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවා තිබෙනවා.
මෙම සැළසුමට දේශීයව මෙන්ම විදේශීය වශයෙන් ඊශ්‍රායල රජයට දැඩි විරෝධයක් ද එල්ල වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙසත් ඒ සඳහා බල කරන ලෙසත් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හී දැවැන්ත විරෝධතාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එරට හමුදා මූලස්ථානයෙන් පිටත පොදු චතුරශ්‍රයක විරෝධතාකරුවන් රැස්ව සිටිමින් ඊශ්‍රායල ධජ ඔසවමින් මෙන්ම ප්‍රාණ ඇපකරුවන්ගේ ඡායාරූප සහති පුවරු අතතිව ඔවුන් මෙම විරෝධතාවට එක්ව තිබුණිණා.
ගාසා නගරයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් තම ආදරණීයන්ට අනතුරක් සිදුවිය හැකි බවට ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආධාරකරුවන් බියට පත්වී තිබෙනවා.
ඒ අනුව දෙපාර්ශ්වයම නැවත සිය රටට ගෙන ඒමට හැකි පුළුල් ගිවිසුමකට එළැඹීමට එක්සත් ජනපදයට ජනාධිපතිවරයාට බලපෑම් කිරීම සඳහා ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 48 දෙනෙකු රඳවා සිටින බවයි.
කෙසේ නමුත් ඊශ්‍රායල බලධාරීන් විශ්වාස කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු පමණක් තවමත් ජීවතුන් අතර සිටින බවයි.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රතිඥා දී තිබුණද ඔහුගේ දෙවන ධුර කාලයෙන් මාස 8කට ආසන්න කාලයක් ගත වී ඇතත් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් මේ දක්වා සිදුකර නොමැති බවයි.