එළැඹෙන 30 වැනිදා ආරම්භ වන 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ දී පිරිනමන ත්‍යාග මුදලේ දැවැන්ත වැඩිවීමක් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.
තරගාවලිය ඉන්දියාවේ දී සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.
කණ්ඩායම් අටකින් සමන්විත මෙවර තරගා ලියේ සමස්ත ත්‍යාග මුදල ඩොලර් මිලියන 13.88ක් බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.
එය 2022 දී නවසීලන්තයේ පැවති අවසන් තරඟාවලියේ දී දුන් ත්‍යාග මුදල වන ඩොලර් මිලියන 3.5 සිට සියයට 297ක දැවැන්ත වැඩිවීමක් වනවා.
මුළු ත්‍යාග මුදල වසර දෙකකට පෙර ඉන්දියාවේ පැවති ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ මුළු ත්‍යාග මුදල ඉක්මවා යන අතර එහි මුළු ත්‍යාග මුදල ඩොලර් මිලියන 10ක් වුණා.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය පුළුල් කිරීම සඳහා වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල උපාය මාර්ගයට අනුව මෙම වෙනස සිදුකර තිබෙනවා.
වැටුප් සමානාත්මතාව හඳුන්වා දීමේ තීරණය 2024 ICC කාන්තා T20 ලෝක කුසලානයට පෙර ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ 13 වැනි තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඩොලර් මිලියන 4.48ක ත්‍යාග මුදලක් ලැබෙනු ඇති.
එය 2022 දී ඕස්ට්‍රේලියාවට පිරිනමන ලද ඩොලර් මිලියන 1.32ට වඩා සියයට 239ක වැඩිවීමක්.
මේ අතර, අනුශූරතාවට ඩොලර් මිලියන 2.24ක් ලැබෙනු ඇති අතර එය වසර තුනකට පෙර එංගලන්තය දිනාගත් ඩොලර් 600,000ට සාපේක්ෂව සියයට 273ක වැඩිවීමක් වනවා.
පරාජිත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දෙදෙනාටම ඩොලර් මිලියන 1.12ක් (2022 දී ඩොලර් 300,000ක් විය) ලැබෙනු ඇති.
කණ්ඩායම් අදියරේ සෑම සහභාගිවන්නෙකුටම ඩොලර් 250,000ක් උපයා ගැනීමට හැකි වන අතර කණ්ඩායම් අදියරේ සෑම ජයග්‍රහණයකදීම ජයග්‍රාහකයන්ට ඩොලර් 34,314ක් ලැබෙනු ඇති.
අවසන් වගුවේ දෙවැනි භාගයේදී, පස්වැනි සහ හයවැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් ඩොලර් 700,000 බැගින් ලැබෙන අතර හත්වැනි සහ අටවැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් ඩොලර් 280,000ක් උපයනු ඇති.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සභාපති ජේ ෂා පවසන්නේ මෙම නිවේදනය කාන්තා ක්‍රිකට් ගමනේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි.