Latest News

NASA ආයතනය විසින් යුරේනස් ග්‍රහයාගේ ඇති අලුත් දෙයක් සොයා ගනියි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරේනස් ග්‍රහලොව වටා කක්ෂගත වූ නව චන්ද්‍රයෙකු නාසා ආයතනය විසින් හඳුනාගෙන තිබෙනවා.

මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් වනවා.

මෙම නවතම චන්ද්‍රයා තවමත් නිල වශයෙන් නම් කර නොමැති අතර, එය S/2025U1 යන තාවකාලික නාමකරණයෙන් හඳුන්වනු ලබනවා.

පෙබරවාරි මස 2 වන දින ප්‍රථම වරට නිරීක්ෂණය වූ මෙම චන්ද්‍රයාගේ පිහිටීම පසුගිය සතියේ ස්ථිර කළා.

මෙහි විෂ්කම්භය දළ වශයෙන් කිලෝමීටර් 10ක් (සැතපුම් 6ක්) පමණ වනවා.

මෙම සොයාගැනීමත් සමඟ අයිස් යෝධයා ලෙස හැඳින්වෙන යුරේනස් වටා ඇති බවට තහවුරු වූ චන්ද්‍රයන්ගේ මුළු සංඛ්‍යාව 29 දක්වා ඉහළ යනවා.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන විමර්ශක, කොලරාඩෝ හි නිරිතදිග පර්යේෂණ ආයතනයේ මර්යාම් එල් මුටාමිඩ් පවසන්නේ, එහි ඉතා කුඩා ප්‍රමාණය නිසා මෙතෙක් දුරේක්ෂවලට හසු නොවන්නට ඇති බවයි.

“මීට වසර 40කට පමණ පෙර නාසා ආයතනයේ වොයේජර් 2 යානය යුරේනස් අසලින් පියාසර කළ අවස්ථාවේදී පවා හඳුනාගැනීමට නොහැකි වූ මෙය කුඩා වුවද,ඉතා වැදගත් සොයාගැනීමක්” බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන, කැලිෆෝනියාවේ සෙටී ආයතනයේ මැතිව් ටිස්කරේනෝ පෙන්වා දෙන්නේ යුරේනස් තරම් කුඩා අභ්‍යන්තර චන්ද්‍රයන් සංඛ්‍යාවක් වෙනත් කිසිදු ග්‍රහලොවක නොමැති බවයි.

යුරේනස්ගේ චන්ද්‍රයන් සහ එහි දුර්වල වළලු පද්ධතිය අතර පවතින “සංකීර්ණ අන්තර් සබඳතා” මගින් ග්‍රහලෝකයේ පරිණාමීය ඉතිහාසය තරමක් අවුල් සහගත එකක් වන්නට ඇති බවට ඉඟි කරන බවද ඔහු පැවසුවා.

පර්යේෂකයන්ට අනුව, අලුතින් සොයාගත් මෙම චන්ද්‍රයා ග්‍රහලෝකයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 56,000ක් (සැතපුම් 35,000ක්) පමණ දුරින්, ආසන්න වශයෙන් වෘත්තාකාර කක්ෂයක ගමන් කරයි. යුරේනස්ගේ සියලුම චන්ද්‍රයන් නම් කර ඇත්තේ විලියම් ෂේක්ස්පියර් සහ ඇලෙක්සැන්ඩර් පෝප්ගේ සාහිත්‍ය කෘතීන්වල එන චරිත අනුවයි.

අභ්‍යවකාශ වස්තූන් නිල වශයෙන් නම් කිරීම අධීක්ෂණය කරන ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ අනුමැතිය ලැබීමෙන් පසු මෙම නව චන්ද්‍රයාට ද එවැනි නමක් ලබා දෙනු ඇතැයි නාසා ආයතනය පවසනවා.

1986 දී වොයේජර් 2 යානය යුරේනස් අසලින් පියාසර කළ ප්‍රථම මිනිසා විසින් නිර්මිත වස්තුව බවට පත් වූ අතර, එමගින් එම දුරස්ථ ග්‍රහලෝකය පිළිබඳ ප්‍රථම සමීප දසුන් මානව වර්ගයා වෙත ලැබුණා.

එම ඓතිහාසික මෙහෙයුමෙන් යුරේනස්ගේ ඡායාරූප 7,000කට අධික ප්‍රමාණයක් ලැබුණු අතර, නව වළලු දෙකක් සහ නව චන්ද්‍රයන් 11 දෙනෙකු සොයාගැනීමට විද්‍යාඥයින්ට හැකි වුණා.

මෙම නවතම සොයාගැනීම මගින් තවත් කුඩා චන්ද්‍රයන් සොයාගැනීමට ඉතිරිව ඇති බවට ඉඟි සපයනවා.

“බොහෝ විට මෙවැනි තවත් චන්ද්‍රයන් ඇති අතර, අප කළ යුත්තේ දිගටම ඒ පිළිබඳව සෙවීමයි” යනුවෙන් ටිස්කරේනෝ සඳහන් කළා.

World News

Send your contact Details Today