Latest News

“ෂූටින් කරන හැම දවසෙම එමන්දි නිසා ගුටිකන්න වුණා” – දිල්කි හංසිකා

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන සමීර පියරත්නගේ රොකී ටෙලි නිර්මාණයේ එමන්දිගේ භූමිකාවෙන් ඔබ හමුවට එන දිල්කි හංසිකා ‘SEAසෝ‘ ටෙලි නිර්මාණයේ ‘ගිහානි‘ ලෙසින් අභියෝගාත්මක රංගනයක නිරත වූවා ඔබට අමතක නැතුව ඇති. හර්ෂ උඩකන්දගේ ලොක්කී ටෙලි නිර්මාණයේ මලිති ඇයට ප්‍රේක්ෂක ආදරයක් ඉහළින්ම ලබාදුන් චරිතයකි. සංගීතේ ජයනි මෙන්ම අන්දරේහි සඳලතා ඇය වෙනම මානයකට රැගෙන ගියාය. වෙළෙඳ දැන්වීම් කලාව හරහා පාසල් වියේදීම කලාව හඳුනාගත් දිල්කී 2021 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වීමත් සමඟින් පුංචි තිරයට පිවිසියාය. ප්‍රවීණ ගායන ශිල්පි කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘සිරගත වුණු ප්‍රේමයක්’ ගීතයට රංගනයෙන් දායක වීමත් සමඟ ඇය මේ දිනවල කාගේත් කතාබහට ලක්වන චරිතයක් බවට පත්වූවාය.

රොකී ටෙලි නිර්මාණයේ එමන්දි නිසා මේ දිනවල ප්‍රේක්ෂක ආදරය විඳිමින් සිටින දිල්කී අප හා පැවසුවේ මෙවන් කතාවකි.

“එමන්දී නිසා මං මේ දවස්වල ගොඩක්ම ආදරය ලබනවා. එයා හරිම අහිංසක චරිතයක්. ඒ වගේම තමන්ගේ ආදරය ලබා ගන්නා පවුලේ අය එක්කත් සටන් කරන යුවතියක්. ඇය අහිංසකයි වගේම අසාධාරණයට, අයුක්තියට අකමැතියි. තමන්ගේම තාත්තා වුණත් වැරදි දේ කරනවා නම් ඒකට විරුද්ධව නැඟී සිටින දියණියක් කිව්වත් හරි.

විදෙස්ගතව ඉන්න එමන්දි ලංකාවට එන අවස්ථාවේදී සිදුවුණු කරදරයකදී පිහිටට එන ක්‍රිෂ්ට ආදරය කරන්න පටන් ගන්නවා. මවුපියන් කොතරම් වත්පොහොසත් කමින් ආඪ්‍ය වුණත් ඇය සාමාන්‍ය දිවියක් ගත කරන්න කැමැති යුවතියක්. නිවෙසේ තාඩන පීඩන මැද්දේ මත්ද්‍රව්‍යවලට එරෙහිව සටන් කරමින් සමාජයට මෙහෙවරක් කරන තම පෙම්වතාට උදවු කරන ආදරණීය පෙම්වතියක් ලෙසින් ඇය එමන්දීව හඳුන්වා දුන්නාය.

තම දියණිය නි‍ෙවසේ සිරකාරියක් කිරීමට තරම් ආවේගයකින් ක්‍රියා කළ තම පියා ඇතුළු නිවැසියන්ගේ ක්‍රියා කලාපයට මුහුණ දෙන එමන්දී නිසා තමාට සැබෑ දිවියේ අත්විඳින්නට සිදුවුණු ඉරණම ගැන දිල්කී පැවසුවේ මෙවැන්නකි. “එමන්දිට නිතරම ගෙදරින් ගුටිකන්න වුණා. අක්කා එමන්දිව ඇදගෙන යනවා. තාත්තාත් එහෙමයි. තාත්තා කම්මුලටත් ගහනවා. එමන්දි නිසා ෂූටින් කරන හැම දවසෙම මට ගුටි කන්න වුණා. සමහරදාට ෂූටින් ඉවරවෙලා යද්දි ඇඟ හැම තැනම හීරිලා. එමන්දිත් ඉතින් දඩබ්බර චරිතයක්. කොතරම් හිර කළත් ඇය කොහොමහරි ගෙදරින් පැනලා ගිහින් ක්‍රිෂ්ව හමුවෙන නිසා ගුටිකන්න වෙනවා. අක්කා තමයි වැඩිපුරම ලෙඩ දාන්නේ.“

මේ දිනවල තවත් අලුත් ටෙලි නිර්මාණයකට දායක වීමේ බලාපොරොත්තුවෙන් සිටින දිල්කී තම රංගන දායකත්වයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන අලුත්ම මියුසික් විඩියෝව ගැනත් අප හා පැවසුවාය.

“ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේගේ අලුත්ම මියුසික් වීඩියෝව ‘සිරගත වුණු ප්‍රේමයක්’ ගීතයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව තවත් මියුසික් වීඩියෝ කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒවත් මේ දවස්වල සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා.

පවුලේ එකම දියණිය ලෙස සොයුරන් දෙදෙනකුට මැදිව උපන් දිල්කි, කුඩා වියේ සිටම තම සෙවණැල්ල වූ සොයුරන් දෙදෙනාගේ විදෙස්ගතවීම පිළිබඳව ද දුකෙන් පසුවන්නීය.

“මට ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, මල්ලියි. අයියයි මල්ලියි දෙන්නම මේ වෙද්දි විදෙස්ගත වෙලා ඉන්නේ. පුංචි කාලෙ ඉඳන් එකටම හැදුණු ඔවුන් නැතුව හරිම පාළුයි. දැන් ඉතුරු මං විතරයි. මගේ පෙම්වතාත් මේ වෙද්දි විදෙස්ගත වෙලා ඉන්නේ. ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරන්නම ඕන.“

සමුගන්නට මත්තෙන් තමා මෙතෙක් ආ ගමන්මඟ සිහිකරන්නටත් ඇය අමතක කළේ නැහැ…

“පාසල් වියේදීමයි මට රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මියුසික් වීඩියෝවලටත් රංගනයෙන් දායක වුණා. රංගනයට එන්න හිතේ ලොකු ආසාවක් තිබුණත් අධ්‍යාපනය කඩාකප්පල් වේවි කියලා තාත්තා කැමැති වුණේ නැහැ. අම්මා නම් ලොකු කැමැත්තකින් හිටියා මාව කලාව පැත්තට යොමු කරන්න. පාසල් කාලෙදිම වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉන්න අවස්ථාව ලැබුණත් මං පෙනී හිටියෙ අධ්‍යාපනය සම්බන්ධ වෙළෙඳ දැන්වීම්වලට විතරයි. ඒ නිසා පාසලෙන් ගැටලුවක් වුණේ නෑ. ඒ අතරේ මියුසික් වීඩියෝවලටත් ආරාධනා ලැබුණා. තෝරා බේරා ගත් කිහිපයකට විතරක් සම්බන්ධ වුණා. හැමදේම කළේ මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදිහට නිසා තාත්තා විරුද්ධ වුණේ නැහැ. පාසල් ගිහින් ඉවර වුණාට පස්සෙ තමයි මම දෙරණ අවුරුදු කුමරිය තරගයට අයදුම් කරන්නේ. අවසන් දොළොස් දෙනා අතරට එන්න ලැබුණා. මට රංගනයට දොරටු විවර වුණේ එතැනින් කිවුවත් හරි. කැමරාවක් ඉදිරියේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම ලැබුවේ සාරංග මෙන්ඩිස්ගේ සංගීතේ ටෙලි නිර්මාණයේ අසනිගේ යාළුවා ජයනී විදිහට. ඒක ගොඩක්ම ජනතාව අතරට ගියා. ඊට පස්සේ ලොක්කී ටෙලි නිර්මාණයට ප්‍රධාන චරිතයකින් දායක වුණා. ඒ ආපු ගමන තමයි මේ දක්වා ආවේ.

World News

Send your contact Details Today