අගෝස්තු 10 වැනිදා එනම් අද සමාරම්භය සනිටුහන් කරන ‘ප්‍රසන්නාවලෝකන නාට්‍ය උලෙළ‘ ප්‍රසන්නජිත් අබේසූරිය නම් අග්‍රගණ්‍ය කලාකරුවාගේ කලා දිවියේ ස්වර්ණමය අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත. දක්ෂ වීදි නාට්‍යකරුවකු ලෙස ඇරැඹි ඔහුගේ කලා දිවියට අඩසිය වසක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මෙම නාට්‍ය උලෙළ සඳහා ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වේදිකා නිර්මාණ නවයක් වේදිකාගත වීමට නියමිතය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන ඔහු කලාවෙහි දැනුමැති අනාගත පරපුරක් බිහි කිරීමට වෙහෙසෙන ගුරුවරයෙකි. දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙකි. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. වේදිකා මෙන්ම ටෙලි තිරපිටපත් රචකයෙකි. නිෂ්පාදකවරයෙකි. එමෙන්ම රංග වස්ත්‍ර සහ රංග වින්‍යාස නිර්මාණ ශිල්පියෙකි. සිය කලා දිවියේ සුවිශේෂීම අවස්ථාව ගැන කතා කරන්නට ඔහු අප හා කතාබහට එක්වීය.
අදින් එනම් අගෝස්තු 10 වැනිදා ඇරැඹෙන ‘ප්‍රසන්නාවලෝකන නාට්‍ය උලෙළ‘ ගැන මුලින්ම සඳහන් කරමු ?
ප්‍රසන්නාවලෝකන නාට්‍ය උලෙළ සංවිධානය වෙන්නේ මගේ කලා දිවියට වසර පනහක් පිරීම නිමිත්ත කරගෙන. මගේම නිර්මාණ දෙකක් ඇතුළුව මම දායක වන මගේ ගුරුවරුන්ගේ ජනප්‍රියම වේදිකා නිර්මාණ නවයක් අගෝස්තු 10 වැනිදා සිට 18 වැනිදා දක්වා දින නවයක් පුරා සෑම දිනකම පස්වරු 6.30ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා.
මේ නිමිත්ත පදනම් කරගෙන එක් එක් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් මං ගැන දක්වන අදහස් ඇතුළත් ප්‍රසන්නාවලෝකන ග්‍රන්ථය එළිදැක්වීමත් සමාරම්භක උලෙළ පැවැත්වෙන අගෝස්තු 10 වැනිදා සවස 3.30ට එල්ෆින්ටන් රඟහලේ දීම පැවැත්වීමට කටයුතු යොදා තියෙනවා. ඉන් අනතුරුව සචිත්‍ර රාහුබද්ධගේ ‘හිතට වැටුණු මිසයිල‘ කෙටි නාට්‍ය ඇසුරින් නිර්මාණය වුණු ‘දෙමළා නම්‘ කෙටි නාට්‍යය වේදිකාගත වෙනවා. එම අවස්ථාව පැය එකහමාරකට සීමා වෙනවා. එදිනම සවස 6.30ට එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ‘ නාට්‍ය වේදිකාගත වෙනවා. ඉදිරි දින අට පිළිවෙළින් සෝමලතා සුබසිංහගේ විකෘති, ආර්.ආර්. සමරකෝන්ගේ කැලණි පාලම, හෙන්රි ජයසේනයන්ගේ කුවේණි, මංගල සේනානායකගේ සිංදුකාර කවි ‘නළුව‘ , ජයලත් මනෝරත්නයන්ගේ ‘තලමල පිපිලා, මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා (ටවර් රඟහලේදී) සහ මගේ ‘දුක්ගන්නාරාළ‘ සහ ‘දොර්දණ්ඩා‘ වේදිකාගත වෙනවා.
නාට්‍ය උලෙළේ ඔබේ නමින් නිර්මාණ හතරක් වේදිකාගත වීමේ විශේෂත්වය මොකක්ද?
1989දී නිර්මාණය වුණු ‘දුක්ගන්නාරාළ‘ සහ 1995 දී නිර්මාණය වුණු ‘දොර්දණ්ඩා‘ තිර රචනය, අධ්‍යක්ෂණය සහ ප්‍රධාන රංගන දායකත්වය මගේ. එකම ශිල්පියකුගෙන් එවන් දායකත්වයක් ඉතිහාසයේ මෙතෙක් සිදුවෙලා තිබුණෙ නැහැ. ‘සකුන්තලා‘ සහ ‘කුවේණී‘ ප්‍රතිනිර්මාණ විදිහට නැවත නිෂ්පාදනය මගේ. අනෙක් ඒවා මං රංගනයෙන් දායක වුණු මගේ ගුරුවරුන්ගේ නිර්මාණ.
ඔබ හොඳම ගුරුවරුන් යටතේ වේදිකාවේ පරිණත වුණු කෙනෙක්. අද ඔබේ දස්කම් දකින්න ඔවුන් නැතිවීම ගැන මොකද හිතෙන්නේ?
ඒකම තමයි මට තියෙන ලොකුම දුක. ඒවා දකින්නම ඕන අය අද නැහැ. එදිරිවීර සරච්චන්ද්‍ර, සෝමලතා සුබසිංහ, ආර්. ආර්. සමරකෝන්, හෙන්රි ජයසේන, ජයලත් මනෝරත්න වැනි කිසිම ගුරුවරයෙක් අද නැහැ. මං ගැන ලියන්න ඕනම මිනිස්සු කවුරුවත් අද නැහැ. ඒ ගැන මතක් වෙද්දි පුදුම දුකක් දැනෙනවා. ඔවුන් හිටියා නම් අනිවාර්‍යයෙන්ම සතුටු වෙන බව විශ්වාසයි. ඒ වගේම එදා මාත් එක්ක රංගනයෙන් දායක වුණු බොහෝ අයත් නැහැ. සතිශ්චන්ද්‍ර එදිරිසිංහ වැනි ප්‍රවීණයන් අද ලිපියක් ලියන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයකත් නැහැ. මාලිනී ෆොන්සේකා කියන්නෙත් මාත් එක්ක ගොඩක්ම හිතවත් මාව නිතරම අගය කළ කෙනෙක්. ජීවිතය කියන්නෙ ඕකට තමයි.
ඔබ වඩාත්ම ආදරය කරන්නෙ වේදිකාවට නේද?
වේදිකාව කියන්නෙ මගේ ජීවිතය, මගේ ආත්මය කිව්වත් හරි. ඒ වෙනුවෙන් මං උපරිම කැපවෙනවා. ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට සම්බන්ධ වුණාට අදටත් මගේ මූලිකම තැන වේදිකාව. තිරපිටපත් ලියල තිබුණත් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට නම් මං කවදාවත් යොමුවෙන එකක් නැහැ. මොකද ඒක මගේ ඇඟට දැනෙන්නෙ නෑ. ඒකට මාව පෙළඹවෙන්නෙ නැහැ.
වර්තමානයේ තියෙන වේදිකා නිර්මාණ ගැන මොකද හිතෙන්නේ?
මේ වෙද්දිත් වේදිකාව සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක තියෙනවා කියල කියන්න පුළුවන්. නගරෙ ඉල්ලුම තිබුණට ජනප්‍රියම නාට්‍යක් ඇරුණම ගම්බදව ඉල්ලුම අඩුයි. හැත්තෑව අසූව දශකවල තරම් අද ප්‍රේක්ෂකයින්ගේ රසිකත්වය වර්ධනය වෙලා නෑ කියලයි මට හිතෙන්නේ. හොඳ නාට්‍යක් කළත් ප්‍රචාරයක් නැහැ. සතියක් යද්දි ඒක ගැන සම්පූර්ණ විචාරයක් යනවා. ඒක බලන රසිකයන්ට නාට්‍ය බලන සිතුවිල්ල නැතුව යනවා. ඒක තමයි වර්තමානයේ තත්ත්වය. එහෙම නැතුව නාට්‍ය බිහි වෙන්නෙ නැතුව නෙවෙයි. චාමික හත්ලහවත්තගේ කොළඹ තොරන්, ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ රහසිගත ලිපිගොනු, චාලක රණසූරියගේ අටවන බුවනෙක ගොඩක් හොඳ නිර්මාණ. මාසයක් වගේ ඇතුළත මේ වගේ නිර්මාණ බිහිවෙනවා කියන්නෙ සුබවාදී ලකුණක්.
මේ දවස්වල ඔබ පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණය එක්කත් ජනප්‍රියයි?
ටෙලි නාට්‍ය තෝරගෙන බේරගෙන තමයි සම්බන්ධ වෙන්නෙ. වැඩේ කියන්නේ ඉඳල ඉඳලා මං සම්බන්ධ වෙන ටෙලි නිර්මාණය ජනප්‍රියම ටෙලි නිර්මාණය බවට පත් වෙනවා. මුතු වරුසා එකට සම්බන්ධ වෙන්නේ විශ්වවිද්‍යාලයේ පත්වීම ලැබිලා අවුරුදු තුනකට විතර පස්සේ. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. ටික කාලෙකින් සකූගේ කතාව. ඒකත් ජනප්‍රිය වුණා. ඊටත් පස්සේ සකූගේ ලෝකය. නාඩගම්කාරයොත් ගොඩක්ම ජනප්‍රිය වුණා. මේ දවස්වල පාට කුරුල්ලෝ අතිශයින්ම ජනප්‍රියයි. මට හිතෙන විදිහට නළුවෙකුට ජනප්‍රියත්වය කියන එකත් ඕන. අපි වේදිකාවේ මොනවා කළා කිව්වත් වැඩක් නෑ. අපේ රටේ සාමාන්‍ය ජනතාව සමීප ටෙලි තිරයට. කලාකරුවෙක් විදිහට ටෙලි නාට්‍ය ඔස්සේ ලැබෙන ජනප්‍රියත්වය ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න හොඳ පිටිවහලක් වෙනව කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මං අවුරුද්දකට ටෙලි නාට්‍යක් දෙකක් කරනවා. ඒ වගේම මං කලාකරුවෙක් විදිහට ලබන ජනප්‍රියත්වය හොඳ වැඩවලට යොදා ගන්නවා. ගම්බද මිනිස්සු අතරට යන්න, ඔවුන් එක්ක වැඩ කරන්න ඒක ගොඩක් වැදගත්. නිර්මාණය වගේම අපි කරන චරිතයත් අපිට ලබාදෙන ආදරයේ ප්‍රමාණය තීරණය කරනවා.
සිනමාවට තියෙන සම්බන්ධය ගැන කතා කරනවා නම්?
සිනමාවට නම් මගේ ලොකු සම්බන්ධයක් ඇත්තටම නෑ. වේදිකාවට, පුංචි තිරයට සාපේක්ෂව ගත්තොත් හරිම අඩුයි. මුලින්ම මං සිනමාවට සම්බන්ධ වෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කැලෑමල් චිත්‍රපටයේ පුංචි ජවනිකාවකින්. ඊට පස්සේ ඔහුගේම සුදු සෙවණැලිවලට දායක වුණා. සිරිරජ සිරි, ශ්‍රී වික්‍රම රාජසිංහ වගේ නිර්මාණවලටත් පොඩි චරිතවලින් දායක වුණා. ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙන්න ලැබුණේ මදර් තෙරේසා චිත්‍රපටයට. සිනමාවට ලොකුවටම අවස්ථා ලැබුණෙ නැතත් ලැබුණු සමහර අවස්ථාත් කාර්යබහුලත්වය නිසා මඟහැරුණා.
ඔබ චරිත තෝරාබේරා ගැනීමක් කරනවද?
ඔව්. එතැනදි මං කාරණා දෙකක් ගැන සලකා බලනවා. එකක් මට යමක් ඉගෙන ගන්න පුළුවන් හොඳ අධ්‍යක්ෂවරයෙකු යටතේ ලැබෙන චරිතයක් නම් ඒක පුංචි චරිතයක් වුණත් මම භාර ගන්නවා. වසන්ත ඔබේසේකර මහතාගේ චිත්‍රපටයක කුඩා චරිතයක් මං හරිම ආසාවෙන් රඟපෑවා. ඒ මට ඔහුගෙන් ඉගෙන ගන්න තියෙන දේ සහ වටිනාකම වැඩි නිසා. වේදිකාවෙදි වුණත් ඩිරෙක්ටර් ගැන මට තියෙන විශ්වාසය මත මං ඒ නිර්මාණයට දායක වෙනවා. අනෙක් එක තමයි ඩිරෙක්ටර් කවුරු වුණත් මට ඒ චරිතය ඇතුළෙ යමක් කරන්න තියෙනවා නම් මම ඒක භාර ගන්නවා. චරිතයක් තෝරගනිද්දි ඔය කාරණා මට බරපතළ විදිහට බලපානවා. ඒ කාරණා දෙක මත වුණත් ඒ චරිතය ගැන මම තෘප්තිමත් නම් විතරයි මම කරන්නේ. එහෙම නැතුව මට බොරු කරන්න බෑ. දැනට කරන චරිතයක් වුණත් ඒ තුළ මං තෘප්තිමත් නැත්නම් මම කියලා අයින් වෙනවා. කලාව කියන්නේ විඳින්න තියෙන දෙයක් මිසක් විඳවන දෙයක් නොවෙයි.
බොහෝ දෙනෙක් ඔබ හඳුනාගන්නේ වීදි නාට්‍යකරුවෙක් විදිහට. නමුත් මේ වෙද්දි ඔබ කලාවේ බොහෝ පැතිකඩ ස්පර්ශ කර අවසන් ?
වීදි නාට්‍යකරුවෙක් වීම ගැන අදටත් මම ආඩම්බර වෙනවා. 1980 වසරේ ඉඳන් 2002 දක්වා මම හත්තොටුව ගමගේගේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ හිටියා. ඊට පස්සේ පවුර නමින් වීදි නාට්‍ය කණ්ඩායමක් හදාගෙන ස්වාධීනව වැඩ කළා. වීදි නාට්‍ය කියන්නේ ජනතාව අතරට යන්න පුළුවන් අදටත් අපේ රටට අත්‍යවශ්‍ය කලාවක්. ඒ වගේම සමාජමය මෙහෙවරක් කරන්න පුළුවන් කලාවක්.
නමුත් අද එහි සමාජමය මෙහෙවර ගැන තිබුණු වගකීම අඩුවෙලා වෙළෙඳමය වශයෙන් ප්‍රචාරය ලබාගන්න මාධ්‍යක් බවට පත්වී තිබීම නම් කනගාටුවට කරුණක්. වීදි නාට්‍ය කියන්නේ හොඳ නිර්මාණ ශිල්පියෙක් බිහිවෙන්න තියෙන හොඳම තෝතැන්නක්. මම අද එය අත්දකිමින් කලාවේ පැහැදිලි මාවතක ගමන් කරනවා. මේ වෙද්දි මං තිර පිටපත් රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, රංගනය, රංග වස්ත්‍ර නිර්මාණය වගේම ගුරුවරයෙක් විදිහටත් විවිධ අංශවලින් දායක වෙනවා. ඒ සියල්ලෙන්ම මං වඩාත්ම කැමැති ගුරුවරයා කියන චරිතයට. ගුරුවරයා ඇතුළේ මං හරිම ආසාවෙන් උගන්වනවා. මගේ ගුරුවරු මට ආශීර්වාද කරලත් තියෙනවා. ඔවුන් මට හොඳින් පුරුදු, පුහුණු කළ නිසා තමයි අද මට මේ අවස්ථාව ලැබිල තියෙන්නේ. තවත් ඒ වගේ පිරිසක් බිහිකිරීම තමයි අපේ යුතුකම විය යුත්තේ. මම ඒ සඳහා උපරිම කැප වෙනවා.
ඔබේ බිරියත් දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක්. ඒ හමුවීම ගැනත් කියමු?
අපි දෙන්න හමුවෙන්නෙත් සෝමලතා සුබසිංහ මහත්මියගේ වේදිකා නාට්‍යවලින්. එදා ඉඳන් හැම නාට්‍යකම වගේ අපි එකට රඟපෑවා. මගේ හැම නාට්‍යයකමත් ඇය ඉන්නවා. වේදිකාවේ, සිනමාවේ, පුංචි තිරයේ ඇය සම්මානනීය නිළියක්. ඇගෙන් ලැබෙන සහාය මට ගොඩක්ම වටිනවා. ඒ වගේම මගේ පුතාලා දෙන්නත් කලාවට සම්බන්ධයි. මේ නාට්‍ය උලෙළේ අපි හතර දෙනාම රඟපානවා. පවුලේ සියලු දෙනාම එකම වේදිකාවේ රඟපානවා කියන එකත් මෙතෙක් කවුරුත් නොතැබූ වාර්තාවක්. ඒ වගේම එකම නාට්‍යයේ රචනය, අධ්‍යක්ෂණය, ප්‍රධාන චරිතය, රංග වස්ත්‍ර නිර්මාණය, රංග වින්‍යාස නිර්මාණය කියන සියල්ලම කරන පළමුවැන්නත් මම. ඒ වගේම වීදි නාට්‍ය, සරස්වතී නාට්‍ය, ළමා නාට්‍ය ආදී සියලුම නාට්‍ය වර්ග කරනවා. සමහර අවස්ථාවලදී මම බලන්න යන නාට්‍යවල නළුවෙක් අඩු වුණොත් ඒකට දායක වෙන්න වෙන අවස්ථාත් තියෙනවා.