තම හුරුපුරුදු නිවහන සොයා කිලෝමීටර් 72ක අතිශය දුෂ්කර ගමනක් නිමවා නැවත පැමිණි සුරතල් බළලෙකු පිළිබඳව ශ්රී ලංකාවේ, රිදීගම ප්රදේශයෙන් වාර්තා වනවා.
“ටුටූ” නමැති මෙම දෙහැවිරිදි බළලා, සිය හිමිකරු විසින් මාවනැල්ල, හෙම්මාතගම ප්රදේශයේ පිහිටි නිවසකට රැගෙන ගොස් දින 22කට පසුව නැවතත් රිදීගම පිහිටි සිය පැරණි නිවහන වූ පොලිස් ස්ථානාධිපති නිල නිවසට පැමිණ තිබෙනවා.
මෙම බළලා, රිදීගම පොලිසියේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක හේමන්ත සුබසිංහ මහතා විසින් සුරතලයට ඇතිදැඩි කරන ලද පූසෙක්.
සුබසිංහ මහතාට මන්නාරම ප්රදේශයට ස්ථාන මාරුවීමක් ලැබීමෙන් පසු, ඔහු සිය බළල් සුරතලා හෙම්මාතගම පිහිටි තම පෞද්ගලික නිවසට රැගෙන ගොස් තිබෙනවා.
හෙම්මාතගම නිවසට ගෙන ගොස් ටික දිනකින්, පසුගිය ජූලි මස 6 වන දින ටුටූ හදිසියේම අතුරුදන්වී තිබුණා.
දින 22ක සෝදිසියකින් අනතුරුව, ජූලි 27 වන දින, ටුටූ නැවතත් රිදීගම පොලිස් ස්ථානාධිපති නිල නිවස වෙත පැමිණ සිටියදී එහි නිලධාරියෙකු විසින් මෙම පූසා හඳුනාගෙන තිබෙනවා.
මාවනැල්ල, රඹුක්කන, මාවතගම වැනි නගර රැසක් පසුකරමින් කිසිඳු අනතුරකට ලක් නොවී “ටුටූ” නැවත පැමිණීම විශ්මයජනක බවයි පොලිස් පරීක්ෂක සුබසිංහ මහතා ප්රකාශ කළේ.
නිසි ආහාර වේලක් නොලැබීම නිසා බළලා තරමක් කෘශ වී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
