Latest News

රිසානාගේ චරිතය කරන ශ්‍රී ලංකාවේ විදූෂිකා රෙඩ්ඩි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Rizana – A Caged Bird” කියන්නේ ලාංකේය සිනමාවට එකතු වුණු නවතම සිනමා නිර්මාණයක්. රිසානා නෆීක් කියන්නේ මුතූර් ප්‍රදේශයේ ජීවත් වූ දුගී පවුලක හැදුණු වැඩිමහල් දියණියක්. පවුලේ අගහිඟකම් නිසා ඇය වයස අවුරුදු 24ක යුවතියක් ලෙස විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගෙන ගෘහ සේවිකාවක් ලෙස විදෙස් රැකියාවකට යාමෙන් අත්වන ඛේදනීය ඉරණම ගැනයි රිසානා සිනමාපටය හරහා සිනමාවට නැඟෙන්නේ. මෙහි අධ්‍යක්ෂවරයා වෙන්නේ ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම්ය. ඔහු මින් පෙර ‘අලිමංකඩ’ – ‘A Comman Man’ – ‘According to Mathew’ ආදී චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් සිනමාපට රැසකම line producer ලෙසත් කටයුතු කර තිබෙනවා.’Indiana Jones & Temple of Doom’, ‘Ready’, ‘Water’, ‘Jism 2’ වැනි සිනමාපට ඔහු සම්බන්ධ වූ විදෙස් නිර්මාණ අතරෙහි දැකගන්නට හැකියි. මේ කතාබහ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් සමඟයි…

අවුරුදු කීයකට පස්සේ ද මේ චිත්‍රපටය කරන්නේ?

මම අන්තිමට කරපු චිත්‍රපටය වෙන්නේ 2018 වසරේ තිරගත වුණු According to Matthew චිත්‍රපටය.

රිසානාගේ කතාව සිනමාවට නඟන්න හිතුවේ ඇයි?

මම අවුරුදු හතරක් විතර කාලයක් තිස්සේ සමීක්ෂණ කරමින් මේ පිටපත සකසමින් හිටියා. ඒ කාලය තුළ මම රිසානාගේ අම්මාව මුණ ගැහිලා කතා බහ කළා. රිසානාගේ ගමට ගිහින් එයා ජීවත් වුණු පරිසරය දැක බලා ගත්තා. නමුත් කාලය ගත වෙලා ගියා. ඒ අතර මම මේ පිටපත මගේ පුතාට දුන්නා. මගේ පුතා ජේම්ස් රත්නම්. ඔහුත් හොලිවුඩ් ඇතුළු ලොව නන්දෙස සිනමා ක්ෂේත්‍රයට ආගන්තුකයකු නොවන, ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍රව සිටින තිර රචකයෙක්. එයා ජීවත් වෙන්නේ ඇමරිකාවේ. එයා නැවත මගේ පිටපත අලුත් කරලා තිබුණා. ඔය අතරේ මම දවසක් ජගත් සුමතිපාල මහතා මුණගැහුණා. එදා ඔහු කිව්වා මා සමඟ චිත්‍රපටයක් කරන්න කැමතියි කියලා. අන්න ඒ වෙලාවේ මම ඔහුට කිව්වා මගේ ළඟ රිසානාගේ කතාවේ පිටපත තියෙනවා කියලා. ඔහු කැමති වුණා මේ කතාව සිනමාවට නඟන්න. එහෙම තමයි රිසානා චිත්‍රපටය නිර්මාණය වෙන්නේ.

රිසානා කතාවට අපේ රට වගේම සෞදි රටත් සම්බන්ධ වෙනවා, නැවත අවුරුදු ගාණකට පස්සේ මේ කතාව මතු කරලීම ප්‍රශ්නකාරී දෙයක් වුණේ නැද්ද?

ඇයි ප්‍රශ්නයක් වෙන්නේ. අපි ඇත්ත කතාවනේ කියන්නේ…

ඒ එක්කම ඇත්ත කතාව කියන්නත් ඕනේ නැද්ද?

සෞදි රට හෝ ලංකාව සවුත්තු කරනවා නෙවෙයි. මම මේ කතාව සිනමාවට නඟන්නේ අපි අපේ ළමයින්ව පරිස්සම් කරගත යුතු නිසා. සෞදි රටට පමණක් නෙවෙයි කිසිම රටකට සේවය කරන්න අපි අඩු වයස් ළමයි යැවිය යුතු නැහැ. එතකොට කවුද වරද කරලා තියෙන්නේ. ලොකුම මිස්ටේක් එක වෙන්නේ සවුදියෙන් නෙවෙයි ලංකාවෙන්. ඇයි මේ අඩු වයස් ළමයින්ට බොරු පාසපෝර්ට් හදලා විදෙස්ගත කරන්නේ. රිසානා රට යවද්දී ඇත්ත වයස අවුරුදු 16යි මාස 6යි. ඒක අවුරුදු 24 කරලා වෙනස් කරේ කවුද? අපිනේ වරද කරලා තියෙන්නේ. ගෘහසේවිකාවක් විදියට මේ ළමයාව රැකියාවට යැව්වාට පස්සේ එතැනදී එයාට සිදු වුණා මාස 4ක බිලිඳෙක් බලා ගන්න. සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් නිසා මාස 4ක බිලිඳා මිය යනවා. ඒ අම්මට දැනුණු වේදනාවට රිසනාව වරදකරු කරනවා. රිසානාත් ඒ ලියකියවිලිවලට අත්සන් කළා. එහි දී භාෂා පරිවර්තන ගැටළුවකුත් ඇති වෙලා තිබුණා. කොහොම හරි අවසානයේ වුණේ රිසානාට ජීවිතෙන් වන්දි ගෙවන්න. ඒ නිසා අපි වෙන රටක් එක්ක තරහා වෙන්න ඕනේ නැහැ. අපියි දැන ගන්න ඕනේ නිසි වෘත්තීය පුහුණුවක් නැතුව දරුවන් මේ විදියට රැකියාවන් වලට නොයවා ඉන්න. අවුරුදු 16 ක 17ක පොඩි ළමයි ගෙවල් සුද්ද කරන්න යවන එක හිතන්නවත් පුළුවන් දෙයක් ද? ඒ නිසා අපි කාටවත් වරද පටවන්න බැහැ. අපි තමයි මේක නවත්වන්න ඕනේ.

රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලී චිත්‍රපටයේ තවත් විශේෂත්වය වන්නේ ඇකඩමි සම්මානලාභී බ්‍රිතාන්‍ය නළු ජෙරමි අයන්ස් (Jeremy Irons) ව සහ දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක් වන වරලක්ෂ්මි සරත්කුමාර සම්බන්ධ කර ගැනීම, අපි ඒ ගැනත් කතා කරමු

ජෙරමි කියන්නේ වේදිකාව, පුංචි තිරය සහ සිනමාව ඔස්සේ සිය අනන්‍යතාව තහවුරු කරපු දැවැන්ත චරිතයක්. Reversal of Fortune චිත්‍රපටයේ හොඳම නළුවා සම්මානය දිනාගත් ජෙරමි අයන්ස් Golden Globe සම්මානයක් tony, Emmy, SAG and Honorary cesor Award and apremio Europa peril Teatro සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඒ එක්කම ඔහු මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙසත් කටයුතු කරනවා. ඒ නිසා මට හැමදාම හිතුණා මම මේ චිත්‍රපටය කරනවා නම් ඔහුව තමයි තමයි මේ මානව හිමිකම් ක්‍රියාකාරී චරිතයට ගන්න ඕනේ කියලා. ඒ එක්කම වරලක්ෂ්මි සරත්කුමාරව මම යොදා ගන්නේ වෛද්‍ය සෙල්වම් චරිතයට. ඇයට පමණයි රිසානාව බන්ධනාගාරයේ දී හමුවෙන්න දුන්නේ. ඒ වගේම සියලුම ආරාබි අයගේ චරිත කරන්න ඩුබායිවලින් මම ශිල්පීන්ව ගෙන්නුවා. ඩුබායිහි රංගන ශිල්පින් 18 දෙනෙක් විතර ලංකාවට ආවා.

රිසානා හරහා ඔබ සිනමාවට තවත් අලුත් මුහුණක් හඳුන්වා දෙනවා නේද?

මම රිසානාට ගැළපෙන අය සොයලා ඔඩිෂන් කළා. අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් මේ චරිතයට හරියන නිළියක් හෙව්වා. නමුත් අවසානයේ මට හරි ගියේ විදුෂිකා රෙඩ්ඩි. ඇය ලංකාවේ හැටන් ප්‍රදේශයේ ජීවත් වෙන ළමයෙක්. මින් පෙර ඇය සිනමා නිර්මාණයක රඟපාලා තිබුණෙත් නැහැ. එයා ඔඩිෂන් ආවට පස්සේ මම ටිකක් කතා කළා. ඊට පස්සේ මට තේරුම් ගියා මේ ළමයා තමයි රිසානාට ගැළපෙන්නේ කියලා.

මෙහි සංගීතය කාගේ ද? ජාත්‍යන්තර මට්ටමේ සංගීතඥයින්ගේ නම් කියැවෙනවා, ඒ නිසා අපි ඒ ගැන කියමු ද?

ඇමරිකාවේ ඉන්න ජේෂ්ඨ සංගීතඥයෙක් සම්බන්ධ කරගෙන ඉන්නේ. තවම ඔහු කවුද කියන එක අපි නොකියා ඉන්නවා. ඒ ගැන ඉදිරියේදී දැන ගන්න ලැබෙයි.

මේ වෙද්දී රූගත කිරීම් අවසන් ද?

ඔව්. අපි මි මාසේ 15 වෙනිදා රූගත කිරීම් ආරම්භ කළා. ජූලි මස 6 වනදා තෙක් රූගත කිරීම් සිදු කළා. දැන් අපිට තියෙන්නේ චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු. මේ චිත්‍රපටයේ සියලු සංස්කරණ කටයුතු සිදු වෙන්නේ අ‍ෙමරිකාවේ දී. අපි මේ චිත්‍රපටය කරන්නෙම ජාත්‍යන්තරය ඉලක්ක කරගෙන.

සුමති ෆිල්ම්ස් හැදූ ජගත් සුමතිපාල නිෂ්පාදකවරයා ඊට වැඩි බරපැනක් දරුවා. මේ කතාව ජාත්‍යන්තරයට කතා කළා. ඒ නිසා එහෙම අදහසකින් යුතුව රිසානා හදනවා නම් ඒ ප්‍රමිතියට හැම දෙයක්ම තියෙන්න ඕනෑ. එහිදී අලුත් තාක්ෂණය විතරක් නෙමෙයි සියලුම දේ ඒ තුළ තිබිය යුතුයි කියන තැන මම හිටියා.

කවදා වගේ ද මේ චිත්‍රපටය තිරගත වෙන්නේ?

සාර්ථක නිර්මාණයක් අපි කරලා තියෙනවා. අපි සුදානම් කරලා තියෙන්නේ සැප්තැම්බර් මාසයේ තිරගත කරන්න.

සැප්තැම්බර් මාසෙම තිරගත කරන්න විශේෂ හේතුවක් තියෙනවද?

අපි මේක සැප්තැම්බර් මාසෙම තිරගත කළොත් අමරිකාවේ ඔස්කා ඇකඩමි සම්මාන උලෙළ නියෝජනය කරන්න පුළුවන්. අපි ඉලක්ක කරලා තියෙන්නේ මේ සිනමා නිර්මාණය ඔස්කා ඇකඩමි සම්මාන උලෙළට යොමු කරන්න.

මේ චිත්‍රපටයෙන් පස්සේ කරන නිර්මාණය ගැන දැන්ම හිතලා තියෙනවද?

එකක් නෙවෙයි හුඟක් තිර රචනා තියෙනවා. මේ පිටපත ලියලත් කොච්චර කාලයක් වෙනවද. එහෙම තමයි අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. වෙලාව ආවම අපිට වැඩ කරන්න නම් අපි සුදානම් වෙලා ඉන්න ඕනේ වැඩ කරන්න. මම හැම වෙලාවෙම හිතන්නේ අපිට බැරි දෙයක් නැහැ. මගේ හිතේ තියෙන්නේ කොහොම හරි ඇකඩමි සම්මානයට අපේ නිර්මාණයක් යවන්න ඕනේ කියන එක. තාම කාටවත් ඒක කරන්න බැරි වුණා. නමුත් මම හැම වෙලාවේම හිතන්නේ ඇයි මට ඒක කරන්න බැරි කියන එකයි. Steven Spielberg කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඒ අය ඔක්කොම එතනට ගියා නම් අපිට බැරි වෙන්න විදියක් නැහැනේ. ඒ නිසා අපි උත්සහ කරන්න ඕනේ එතනට යන්න. මේකත් මගේ එවැනි උත්සහයක්.

මේ ලිපිය අවසානයට එකතු කරන්නේ මෙහි වඩාත් කතා බහට ලක්වෙන චරිත මවන නළු නිළියන් මේ “Rizana – A Caged Bird” සිනමා නිර්මාණය ගැන මාධ්‍යය හමුව දා පැවසූ දේ.

චන්ද්‍රන් රත්නම් මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රඟපෑමට ලැබීමත් සතුටක්

– දකුණු ඉන්දියානු රංගන ශිල්පිනී වරලක්ෂ්මි සරත්කුමාර
“අපගේ යුගයේ අතිවිශේෂ අධ්‍යක්ෂකවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රඟපෑමට ලැබීම ගැන සහ මා මහත් භක්තියකින් සලකන ජෙරමි ඉරන්ස් සමඟ රඟපෑමට ලැබීම මට මහත් සතුටක් ගෙන දෙයි. රිසානාගේ කතාව බොහෝ මට්ටම්වලින් මගේ හදවතට ස්පර්ෂවූවකි. කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන මට රිසානාගේ භුමිකාව මගේ එම ක්‍රියාකාරිත්වය සමඟ අනුනාද වන්නකි. “

රිසානාගේ කතාව අතිශය ඛේදජනකයි

– බ්‍රිතාන්‍ය නළු ජෙරමි අයන්ස්
“ශ්‍රී ලංකාවේ මෙම කාර්යයන්හි නිරතවීම මට නවමු අත්දැකීමක්. එමෙන්ම ලෝකයේ මෙම කලාපයේ සිනමා කර්මාන්තයේ සාර්ථකත්වය ගැන සහ රසාස්වාදය ගැන මම සතුටුවෙනවා. රිසානාගේ කතාව අතිශය ඛේදජනක කතාවක්. අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතා සමඟ මෙම නිර්මාණයට සම්බන්ධවී මෙම කතා සහ 21 වැනි සියවසේ සිදුනොවිය යුතු මරණීය දණ්ඩනයේ හද කම්පාකරවන සුසමාදර්ශය යළි ප්‍රකාශකිරීමට අවශ්‍යයි.”

අදත් ලෝකය කම්පා කරවන මානව හිමිකම් සිද්ධියක්

– තිර රචක ජේම්ස් රත්නම්
“අදත් ලෝකය කම්පාකරමින් පවතින මානව හිමිකම් අර්බුදයක් රිසානාගේ කතාවෙන් නියෝජනය වනවා. ඇගේ කතාව ප්‍රකාශ කිරීමෙන් සහ ඇයට ගරුකිරීමෙන් අපට ඇයට හඬක් ලබාදිය හැකි අතර එයින් ඇය අමතක නොකළ බව පෙන්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

එදා මට දැනුණු හැඟීම වචන කරන්න බෑ

– විදූෂිකා රෙඩ්ඩි
“මට මේ අවස්ථාව උදා වෙන්නේ යාපනේ ඉන්න මම දන්න අයියා කෙනෙක් මට එවන FB පොස්ට් එකක් හරහා. එහි තිබුණේ නවතම සිනමා නිර්මාණයකට අලුත් මුහුණු හොයන පුවත. මමත් ඒ සඳහා අයදුම් කරලා ඔඩිෂන් එකට ගියා. එදා බොහෝ දෙනෙක් ඇවිත් තිබ්බා. ඒ සෙනඟ දැක්කම මට විශ්වාසයක් තිබ්බෙත් නැහැ මාව තේරෙයි කියලා. හැබැයි ඒ වෙලාවේ මට ලැබුණු අවස්ථාව උපරිම ප්‍රයෝජනයට ගත්තා. අවසානයේ මට නැවත ඔඩිෂන් එකකට එන්න කියලා තිබුණා. ඒ ඔඩිෂන් එකටත් මම ගියා. එදා තමයි රත්නම් සර් සහ එම මහත්මිය මට කිව්වේ මාව රිසානාගේ චරිතයට තෝරා ගත්තා කියන එක. එදා මට දැනුණු හැඟීම වචන කරන්න බැරි තරම්. ජාත්‍යන්තර වශයෙන් දිදුලන හොලිවුඩ් සහ කොලිවුඩ් නළු නිළියන් සමඟ රඟපාන්න ලැබීමම භාග්‍යයක්. චිත්‍රපටයට සම්බන්ධ වුණු හැමෝගෙන්ම මට ඉතාම හොඳ සහයෝගයක් ලැබුණා. ආධුනික ශිල්පිනියක් විදියට මට මගේ චරිතේ සාර්ථක කර ගන්න ඒ ලැබුණු සහයෝගය ලොකු පිටුවහලක් වුණා.”

World News

Send your contact Details Today