ලබන සඳුදා (23 වැනිදා) සිට පාරිභෝගිකයන්ට අසාධාරණය නොවන පරිදි බිත්තර මිල තීරණය කර එය දැනුම්දීමට සිය සංගමය කටයුතු යොදා තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පවසනවා.
ඔහු පවසන්නේ තීරණය කෙරෙන බිත්තර මිල එය සතියේ සෑම දිනකම පෙරවරු 5.00 ට සුළු, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට, බේකරි හිමියන්ට, බිත්තර යොදාගෙන විවිධ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්තශාලා හිමියන්ට, හෝටල් හිමියන්ට SMS පණිවුඩයක් මඟින් නිකුත් කරන බවයි.
ඒ අනුව 070-7030700 යන දුරකථන අංකය ඔස්සේ බිත්තර තොග මිල, සිල්ලර මිල, අතරමැදියා මිලදී ගන්නා මිල නිකුත් කෙරෙනු ඇති.
පසුගිය කාලයේදී ඇතැමුන් රුපියල් 15 ත් 18 ත් අතර අඩු මිලකට බිත්තර මිලදී ගෙන තොග රැස්කළ බවත්, එවැනි කටයුතුවලට ඉදිරියේදී ඉඩ ලබා නොදෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
එසේම ඇතැමුන් බිත්තර සංගම් පිහිටුවාගෙන තිබුණත් ඔවුනට ගොවිපොළක් හෝ නොමැති බවද පවසන ඔහු ඔවුන්ට බිත්තර නිෂ්පාදනය පිළිබඳව අවබෝධයක් නොමැති බවද පැවසුවා.
බිත්තරයක් නිෂ්පාදනය කිරීමට මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 28 ක මුදලක්ද, මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 29 ත් 30 ත් අතර මුදලක්ද, කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 32 ක මුදලක්ද වැය වන බවද ඔහු මෙහිදී අදහස් ප්‍රකාශ කරමින් දක්වා සිටියා.