ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දිය හැකි අවි අතරින් එකක් තවමත් භාවිතයට ගෙන නොමැති අතර, එය දැනට ඊශ්‍රායලය සතුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොව විශාලතම න්‍යෂ්ටික නොවන “බංකර් බස්ටර්” බෝම්බය ලෙස සැලකෙන GBU-57A/B Massive Ordnance Penetrator නමැති බෝම්බය අමෙරිකා එක්සත් ජනපදය සතුයි.
රාත්තල් 30,000ක් (කිලෝග්‍රෑම් 13,600) බරින් යුතු නිරවද්‍ය මාර්ගෝපදේශක අනුව ක්‍රියාත්මක වන මෙම බෝම්බයට කන්දක් තුළ ගැඹුරින් භූගතව ඉදිකර ඇති ඉරානයේ න්‍යෂ්ටික යුරේනියම් බලගැන්වීමේ ෆොර්දෝ සංකීර්ණය විනිවිද යාමට හැකියාව තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයට මේ දක්වා පොළොවේ ගැඹුරින් පිහිටා ඇති ඉලක්ක විනාශ කිරීමට නිර්මාණය කර ඇති GBU-57A/B ‘බංකර් බස්ටර්’ බෝම්බ භාවිතයට ප්‍රවේශය ලබා දී නැහැ.
GBU-57A/B යනු භූගතව පිහිටා ඇති බංකර් සහ උමං මාර්ගවලට පහර දී විනාශ කිරීම සඳහා නිර්මාණය කරන ලද විශාල බෝම්බයක් බවයි අමෙරිකා එක්සත් ජනපද රජය පවසන්නේ.
මීටර් හයක් දිගැති මෙය, පිපිරීමට පෙර මතුපිට සිට අඩි 200ක් (මීටර් 61) පමණ ගැඹුරට කිඳා බැසීමට සමත් බව පැවසේ. එකිනෙක පිපිරීමෙන් පොළොව හාරමින් ගැඹුරට යන ආකාරයෙන් බෝම්බ රැසක් අනුපිළිවෙළින් පුපුරුවා හැරීමට එයට හැකියාව පවතිනවා.
බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම දැවැන්ත අවිය (MOP), කිසි විටෙකත් සටන් සඳහා භාවිත කර නොමැති නමුත් නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද හමුදා පරීක්ෂණ ප්‍රදේශයක් වන වයිට් සෑන්ඩ්ස් මිසයිල භූමි කලාපයේදී අත්හදා බලා තිබෙනවා.
එය 2017 වසරේදී ඇෆ්ඝනිස්ථානයේ සටන් වලදී භාවිත කරන ලද “සියලු බෝම්බවල මව” ලෙස හැඳින්වෙන රාත්තල් 21,600 (කිලෝග්‍රෑම් 9,800) බරැති දැවැන්ත “Massive Ordnance Air Blast” (MOAB) නමැති බෝම්බවලට වඩා ප්‍රබල බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.
ඉරානය වැනි ශක්තිමත් ගුවන් ආරක්ෂක පද්ධති ඇති සතුරු රටකට එරෙහිව ‘බංකර් බස්ටර්’ හෙවත් MOP බෝම්බ භාවිතා කළේ නම්, B-2 බෝම්බ හෙළන යානා, වෙනත් ගුවන් යානාවල සහය ලබා ගැනීමට ඉඩ ඇති බව එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සාම අධ්‍යයන පිළිබඳ සම්මානිත මහාචාර්ය පෝල් රොජර්ස් පවසනවා.
F-22 ජෙට් යානාවලට පළමුව ආරක්ෂක පද්ධති විනාශ කළ හැකි අතර, හානිය තක්සේරු කිරීමට සහ තවදුරටත් ප්‍රහාර අවශ්‍ය දැයි තීරණය කිරීමට ඩ්‍රෝන යානා භාවිත කළ හැකියි.
ඔහු ඇස්තමේන්තු කරන්නේ, මෙම බංකර් බස්ටර් බෝම්බ සීමිත තොගයක් ඇමෙරිකා එක්සත් ජනපදය සතුව ඇති බවටයි.
