අහමදාබාද් හි සිදු වූ ඛේදජනක ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට ඉන්දීය රුපියල් කෝටියක වන්දි මුදලක් ලබාදීමට තීරණය කළ බව එයාර් ඉන්දියා ගුවන් සේවයේ හිමිකාරීත්වය දරන ටාටා සමූහය පවසනවා.
මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් X හි සටහනක් තබමින් ටාටා සමූහයේ සභාපති එන්. චන්ද්‍රසේකරන් මහතා මේ බව සඳහන් කර තිබෙනවා.
ඊයේ (12) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් යානයේ සිටි එක් මගියෙකු හැරුණු කොට සෙසු සියලුදෙනා ජීවිතක්ෂයට පත්වුණා.
එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් ඊයේ අහමදාබාද්හි සර්දාර් වල්ලාබ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ලන්ඩන් බලා පුද්ගලයන් 242 දෙනකු සමඟ පියාසර කිරීමට නියමිතව තිබුණා.
යානය බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 6.25ට ලන්ඩන්හි ගැට්වික් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබැස්වීමට සැලසුම් කර තිබූ අතර, එහි කාර්ය මණ්ඩලයේ 12 දෙනාට අමතරව මගීන් 230 දෙනකු සිටි අතර, එහි බිළිඳුන් දෙදෙනකු ද වුණා.
යානය කඩාවැටී තිබුණේ අහමදාබාද් ආසන්නයේ මෙඝානි නගර් හි පිහිටි බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ සිසු නේවාසිකාගාරයක් මතටයි.
යානය ආරම්භයේ සිටම ඉහළට ගමන් කිරීමේ දුෂ්කරතා පෙන්නුම් කර ඇති බවත්, නියමුවන් විසින් හදිසි උදව් ඉල්ලීමේ සංඥාවක් නිකුත් කර තිබූ බවත් මේ වන විට හෙළි වී තිබෙනවා.
කෙසේ වුවත්, අනතුරට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අනතුරින් එක් මගියෙකු පමණක් දිවි බේරා ගත්තා.
ඔහු 11A අසුනේ රැඳී සිටි මගියා වන බවත්, එම අසුන හදිසි පිටවීමේ දොරට ආසන්නව පිහිටා තිබීම ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හේතු වූ බවත් වාර්තා වනවා.