ඊයේ උදෑසන රම්බොඩ ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත බස්රථ අනතුරින් පසු සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වූ වීඩියෝවක දරුවා ආරක්ෂා කර ගනිමින් පෙරළුණු බස් රථයක සිරවී සිටි මවක ගැන තොරතුරු පළවුණා.
කෙසේවෙතත් දරුවා නිරුපද්‍රිත වූවත් අවාසනාවන්ත ලෙස මව සහ පියා දෙදෙනාම මෙළොව හැරගොස් තිබුණා.
මෙම අනතුරේදී ඇය ඇතුළු පුද්ගලයන් 22 දෙනෙකුට මේ වන විය ජිවිත අහිමව තිබෙනවා.
අනතුරට ලක් වූ වයස 45ක් වූ මෙම කාන්තාව තම මාස 9ක දරුවා තදින් වැළඳගෙන සිටි අයුරු වීඩියෝවේ දක්නට ලැබුණා.
මෙම කාන්තාව තම ජීවිතය පරදුවට තබා සිය දරුවා ආරක්ෂා කිරීමට ගත් උත්සාහය සමාජය තුළ දැඩි සංවේදීතාවයක් ඇති කර තිබෙනවා.
ඇයගේ සිරුරේ පසු කොටස බසයට යටවී කැඩී ගොස් තිබූ අතර ඇය දරුවා වෙළාගෙන ඇගේ සිරුරේ ඉදිරි කොටසින් බසයේ යටින් මතුවී අසරණව සිටියා.
එම අවස්ථාවේ හමුදා නිලධාරීන් ඇයට ජලය ලබාදීමට කටයුතු කළ නමුත් ඇය ඇතුළි පිරිස බස් රථයට යටවී තිබූ නිසා ක්ෂණිකව බසය එසවීමට පහසුකමක් හෝ තිබුනේ නැහැ.
හමුදා නිලධාරීන් ඇයට ජලය පොවා ටිකකනි ඇය එතැනම මියගිය බවයි වාර්තා වන්නේ.
බරපතල ලෙස බසයට යටවූ ඇය තම තුවාලවලට ගොදුරු වී මිය ගොස් ඇති අතර, ඇගේ දරුවා වාසනාවකට මෙන් බේරාගැනීමට හැකි වී තිබෙනවා..
විපතට පත් කාන්තාවගේ මාස 9ක දරුවා දැනට නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, දරුවාගේ තත්ත්වය ස්ථාවර බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.
දරුවාට සැලකිය යුතු තුවාල සිදු වී නොමැති බවත්, වෛද්‍ය නිරීක්ෂණ යටතේ තබා ඇති බවත් වාර්තා වනවා.
“දරුවාගේ තත්ත්වය ස්ථාවරයි. අපි දරුවාට අවශ්‍ය සියලුම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා. ඔහුගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන්ට අපගේ සානුකම්පිත බව පළ කරනවා,” යැයි නුවරඑළිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පැවසුවා.
ඊයේ සවස අනතුරට ලක් වූ බස් රථය දොඹකර ආධාරයෙන් ඉහළට ඔසවා තිබුණා.
බලධාරීන් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන දිගටම කරගෙන යන අතර, අනතුරට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ.
කෙසේ වෙතත්, ප්‍රාථමික විමර්ශනවලට අනුව, බස් රථයේ තිරිංග අක්‍රීය වීම හෝ රියදුරු පාලනය අහිමි වීම හේතුවෙන් අනතුර සිදු වී ඇති බවට සැක කෙරෙනවා.