අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්ත්වයක් බව වතිකානය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මේ අතර, වතිකානයේ වැඩ බලන ප්‍රධානි හෙවත් කැමර්ලෙන්ගෝවරයා ලෙස කාදිනල් කෙවින් ෆැරල් නම් කර තිබෙනවා.
ලොවපුරා කතෝලිකයින්ගේ දෘෂ්‍යමාන නායකයාණන් සහ එඩේරාණන් වන අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඊයේ පෙරවරුවේ ස්වර්ගස්ථ වුණා.
උන්වහන්සේගේ වයස අවුරුදු 88 ක් .
වතිකාන වේලාවෙන් ඊයේ උදෑසන 7.35 ට පමණ උන්වහන්සේ ස්වර්ගස්ථ වුණේ, කාසා සැන්ටා මාර්තා හී පිහිටි උන්වහන්සේගේ නිවසේදීයී.
ශුද්ධෝත්තම හිමිපාණන්ගේ වියෝව සැලවීමත් සමග ලොව පුරා විශාල පිරිසක් වතිකානයට රැස්වෙමින් සිටිනවා.
ලොව පුරා කතෝලික ජනතාව මේ වන විට ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් වෙනුවෙන් යාච්ඤා මෙහෙයන්වල නිරත වනවා.
සාම්ප්‍රදායානූකූලව සුදතුම් හිමිපාණන් නවාතැන් ගෙන සිටි කාසා සැන්ටා මාර්තා හී පිහිටි උන්වහන්සේගේ නිවස ඊයේ පස්වරුවේ මුද්‍රා තැබුණා.
ඒ, කැමරලින්ගෝවරයා ලෙස හැදින්වෙන කාදිනල්වරයෙකු විසින්.
මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා රෝමයේ පිහිටි සාන්ත මරියා මැජෝරි දේවස්ථානය සූදානම් කරමින් පවතිනවා.
ඒ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමියන්ගේ අවසන් කැමැත්තට අනුවයි.
රෝමයේ සාන්ත මරියා මැජෝරි දේවස්ථානය උන්වහන්සේගේ ජීවිත කාලය තුළ සුවිශේෂි දේවස්ථානයක් ලෙස උන්වහන්සේ හඳුන්වා දී තිබෙනවා.
පාප්වහන්සේ කෙනෙකුගේ අවසන් කටයුතු වතිකානයෙන් පිටත සිදුකෙරෙන්නේ වසර 100 කට පමණ පසුව වීමද විශේෂත්වයක්.
මීට පෙර පාප්වහන්සේලාගේ අවසන් කටයුතු වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ විශේෂ පීඨිකාවකදී සිදුකෙරුණා.
උන්වහන්සේ සිය අවසන් කැමැත්තේ සදහන් කර ඇති ආකාරයට අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සාම්ප්‍රදායික අවසන් කටයුතු සිදුවන ආකාරයෙන් බැහැරව සරල සහ චාම් අවමංගල්‍ය උත්සවයක් පවත්වන්නැයි පාප්වහන්සේ ඉල්ලා ඇති බවයි.
සයිප්‍රස්, ඊයම් සහ ඕක් වලින් සාදන ලද කූඩු කළ පෙට්ටියක පාප්වහන්සේගේ දේහය තැන්පත් කිරීම සම්ප්‍රදාය වුවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සරල පෙට්ටියක තමන් තැන්පත් කරන ලෙස කල ඉල්ලීම අනුව ක්‍රියාකිරීමට වතිකානය මේ වනවිට පියවර ගෙන තිබෙනවා.
මහජන දර්ශනය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ උස් වේදිකාවක් මත දේහය තැබීමේ සම්ප්‍රදාය ද ඉවත් කරන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසුව නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.
ඒ කාදිනල්වරුන් 135 දෙනෙකු පමණ සහභාගීව, වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සිස්ටයින් දේවස්ථානයේ පැවැත්වෙන රහස් ඡන්දයකින්.